පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා හටගත් ගංවතුර උවදුරින් වී, බඩ ඉරිඟු, ලොකුලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන්ට සිදුවී ඇති හානි තක්සේරු කර ඊට අදාළ වන්දි මුදල් කඩිනමින් ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි එම මණ්ඩලයේ මැදිහත්වීම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේය.මේ වන විටත් ආපදා තත්ත්වය පවතින බැවින් සිදුව ඇති හානිය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් සිදු කිරීම අපහසු වී ඇති අතර ගංවතුර බැස ගිය වහාම අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් එහි ඇති වගා හානි දැනුම් දීමේ පොත්වල තමන්ට සිදුව ඇති හානිය සටහන් කරන ලෙස සභාපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් වගා බිම්වල ජලය බැස යාමක් සිදු නොවන්නේ නම් ඒ පිළිබඳව වහාම ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයා හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවීන්ට දැනුම් දෙනු ලැබේ. මෙම හානි වාර්තා කිරීම සඳහා මාසයක කාලයක් ලබා දී ඇති බැවින් අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් සම්පූර්ණ කර වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.
ඉහත සඳහන් කළ බෝගවලට අමතරව සෙසු වගාවන්ට සිදුව ඇති හානි පිළිබඳවද වගාව පිහිටි ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන පොත්වල සටහන් කිරීමට ගොවීන් වගබලා ගත යුතුය. වගා හානි දැනුම්දීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් 1918 යන කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් ඊට අදාළ පහසුකම් සලසා දී ඇති අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව මෙම වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval