news_20251218183122

ප්‍රධාන කැසිනෝ නගරයක් සහ දෙරට අතර ඇති විශාලතම ගොඩබිම් මාර්ගය ලෙස ප්‍රකට කාම්බෝජයේ පොයිපෙට් නගරය ආසන්නයේ පිහිටි "ප්‍රවාහන මධ්‍යස්ථානයකට" බෝම්බ හෙළූ බව තායිලන්තය පවසයි.

නැවත වරක් ආරම්භ වී ඇති දේශ සීමා ගැටුම් පහව යන බවක් නොපෙනෙන පසුබිමක මෙම බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.




තායි හමුදා බෝම්බ දෙකක් හෙළූ බව කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය පැවසූ අතර රොකට් පද්ධති ගබඩා කර තිබූ ස්ථානයක් ඉලක්ක කළ බව තායි පාර්ශවය ප්‍රකාශ කළේය.

මෙම මස ආරම්භයේ සිට ඇති වූ සටන් හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයින් 21 දෙනෙකු සහ කාම්බෝජයේ පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර නිලධාරීන් පවසන පරිදි 800,000 ක් පමණ අවතැන් වී ඇත.



කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තායි හමුදා බ්‍රහස්පතින්දා දින පෙ.ව. 11:00 ට (ග්‍රිනිච් වේලාවෙන් 0400) පමණ පොයිපෙට් නගර සීමාව ආශ්‍රිතව බෝම්බ දෙකක් හෙළූ බවයි.

ඉන් ටික වේලාවකට පසු තායි ගුවන් හමුදා ප්‍රකාශක එයාර් මාර්ෂල් ජැක්‍රිත් ථම්මවිචායි පැවසුවේ පොයිපෙට් නගරයෙන් පිටත පිහිටි BM-21 රොකට් ගබඩා කිරීම සඳහා යොදාගත් මධ්‍යස්ථානයකට තායි හමුදාව පහර දුන් බවත් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු නොවූ බවත්ය.

BM-21 රොකට් යනු සාමාන්‍යයෙන් සන්නද්ධ රථයක පිටුපස සිට වෙඩි තබන අවි වර්ගයකි.

තායි සූදු කරුවන් අතර ජනප්‍රිය කැසිනෝ සහ ජාත්‍යන්තර දේශ සීමා පරීක්ෂණ ස්ථානයක් ලෙස ප්‍රකට පොයිපෙට් නගරයට එල්ල වූ පළමු බෝම්බ ප්‍රහාරය මෙය බව පෙනේ.

කාම්බෝජය දෙරට අතර ගොඩබිම් දේශ සීමා වසා දැමීමෙන් පසු තායි ජාතිකයින් 5,000 ත් 6,000 ත් අතර පිරිසක් පොයිපෙට් නගරයේ අතරමං වී සිටින බව තායිලන්තය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

දේශ සීමා වසා දැමීම සිවිල් වැසියන්ට ඇති අවදානම අවම කිරීම සඳහා ගත් "අවශ්‍ය පියවරක්" බව කාම්බෝජ අභ්‍යන්තර අමාත්‍යාංශය පැවසූ අතර පිටව යාමට අපේක්ෂා කරන අයට ගුවන් ගමන් විකල්පයක් ලෙස පවතින බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.




අග්නිදිග ආසියානු අසල්වැසියන් අතර සියවස් ගණනක් පැරණි දේශ සීමා ආරවුල ජූලි 24 වන දින කාම්බෝජ රොකට් ප්‍රහාරයක් තායිලන්තයට එල්ල වීමත් සමඟම නාටකාකාර ලෙස උත්සන්න වූ අතර ඉන් අනතුරුව තායි ගුවන් ප්‍රහාර එල්ල විය. එමඟින් දරුණු සටන් දින පහක් ඇති වූ අතර එහිදී සොල්දාදුවන් සහ සිවිල් වැසියන් දුසිම් ගණනක් මිය ගියහ.

පසුව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් සහ එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් දෙරට "ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට" එකඟ විය.

එහෙත් සටන් යළි ඇවිලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකිනෙකාට දොස් පවරමින් පසුගිය සතියේ එම සටන් විරාමය යළි බිඳ වැටුණු අතර ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර හුවමාරු වන ආකාරය දැකගත හැකි විය.

තායි සහ කාම්බෝජ හමුදා අතර ඇති වූ සටන් දුරකථනයෙන් කතා කිරීමෙන් පමණක් නැවැත්විය හැකි බව ට්‍රම්ප් පසුගිය සතියේ කියා සිටියද එය තවමත් නොනැවතී පවතී.

මෑත ගැටුම්වලදී කාම්බෝජය තායි හමුදාවන්ට එරෙහිව චෝදනා කරමින් කියා සිටියේ ඔවුන් සියම් රීප් පළාතට බෝම්බ හෙළූ බවයි. එම පළාතේ පුරාණ ඇන්කෝර් විහාරස්ථාන පිහිටා ඇති අතර එය රටේ ප්‍රධාන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.