news_20251218163044

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කරන ඒ මහතා, මේ සම්බන්ධයෙන් පක්ෂයේ ජාතික සභාව කැඳවන ලෙස උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනයෙන් දැනුම් දී ඇත.




මෙම තීරණයට හේතු වී ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීමෙන් පසු ඇති වූ මතභේදයක් බව වාර්තා වේ. සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ ජීවන් තොණ්ඩමන් මහතා අතර දුරකථන සංවාදයකදී බහින්බස් වීමක් සිදුව ඇති බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු සඳහන් කළේය.

තවද, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන පළාත් පාලන ආයතන නියෝජිතයින්ට, රජයට ලබා දෙන සහයෝගය ඉවත් කර ගන්නා ලෙසට ලිඛිතව දැනුම් දෙන මෙන් ජීවන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.




කෙසේ වෙතත්, ජාතික සභාව කැඳවන ලෙස මහලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දුන්නද, එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුම් දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

news_20251218163044