high-court-orders-re-hearing-of-previously-dismissed-case-against-deshabandu

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර ලබා දී තිබූ නියෝගය නීතියට පටහැනි බවත්, එය බලරහිත කරන බවත් කොළඹ මහාධිකරණය අද (18) තීන්දු කර තිබේ. මෙම නඩුවට අදාළ ලේඛන අධිකරණය භාරයේ තිබියදී අස්ථානගත වී ඇති පසුබිමක, එම ලේඛන නොමැති බව පවසමින් නඩුව ඉවත දමා තිබූ බව මහාධිකරණ තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.




2022 වසරේ මැයි මස 09 වන දින ගාලුමුවදොර අරගල භූමියේ සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර, මවුලානා නමැති පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. අදාළ නඩු ගොනුවට අයත් ලේඛන අතුරුදන් වීම සම්බන්ධයෙන් තමන් මීට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කළ බව නීතිඥවරිය එහිදී සඳහන් කළාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව අරගලකරුවෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කර ඇත්තේ, සාක්ෂි විධිමත් ලෙස සලකා බැලීමකින් තොරව සහ නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකර හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නඩුව නිෂ්ප්‍රභ කර ඇති බවයි. එම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගය නීත්‍යානුකූල නොවන බව නිරීක්ෂණය කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුගේ අභියාචනයට අවසර ලබා දී ඇත.




ඒ අනුව හිටපු මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය බලරහිත කළ මහාධිකරණය, වර්තමාන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා යටතේ මෙම නඩුකරය ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කළ බව නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියාය. මෙම සිද්ධියට අදාළ ඉදිරි නීතිමය පියවර විධිමත් ක්‍රියාපටිපාටියට අනුකූලව සිදු කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියම කර තිබේ.