අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට ගුවනින් සහන සැලසීමේ රාජකාරිය සඳහා පිටත්ව ගිය තම සැමියා එම මෙහෙයුම අතරතුර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, මියගිය ප්‍රධාන ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ බිරිඳ වන ගණකාධිකාරී බුද්ධිකා ලක්මිණි ගුණරත්න මහත්මිය ඊයේ (11) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.
මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා ඉදිරියේ පැවති මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇය සඳහන් කළේ තම සැමියා පසුගිය 27 වනදා කටුනායක කඳවුර බලා පිටත්ව ගිය බවත්, අනතුර සිදුවූ 30 වැනිදා දහවල් 2.00ට පමණ තමා අමතා සහන සැලසීමේ මෙහෙයුම් සඳහා පිටත්ව යන බව පැවසූ බවත්ය.එදින සවස 6.00ට පමණ මෙම හදිසි අනතුර පිළිබඳ තමාට දැනගන්නට ලැබුණු බවත්, පසුව මාරවිල මූලික රෝහලේදී දේහය හඳුනාගත් බවත් ඇය ප්‍රකාශ කළ අතර මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර දේහය ගල්කිස්ස පොදු සුසාන භූමියේදී මිහිදන් කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ අවිකරු ලෙස කටයුතු කළ කෝප්‍රල් කේ.ඒ. දිනිඳු චාමර ජයවර්ධන මහතා ද අධිකරණය හමුවේ සිද්ධිය විස්තර කළේය. පසුගිය 30 වනදා සවස 5.00ට පමණ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ නියමුත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක මහතාගේ සහාය නියමුත්වයෙන් කටුනායකින් පිටත්වූ යානය වෙන්නප්පුව ගිං ඔය පාලම ආසන්නයට ළඟා වූ බව ඔහු පැවසීය. පාලම මත සිටි පිරිස අත වනමින් ආධාර ඉල්ලා සිටිය ද, විශාල ජනකායක් එක්රොක්ව සිටීම සහ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් තිබීම හේතුවෙන් යානය ගොඩබෑමට නොහැකි වූ බව හෙතෙම සඳහන් කළේය.
යානය සුදුසු ස්ථානයකට ගොඩබෑමට නියමුවා උත්සාහ කරන අතරතුර කාර්මික දෝෂයක් හටගෙන ඇති බව නිරීක්ෂණය වූ බවත්,
එසේ තිබියදීත් ජනතාවට අවශ්‍ය ආහාර පාර්සල් තොගය මුදා හැරීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු විස්තර කළේය. යානය නිරුපද්‍රිතව ගොඩබෑම සඳහා හරවනවාත් සමගම එය එකවරම ගිං ඔයට කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ තමා ඇතුළු සෙසු පිරිස වහාම ක්‍රියාත්මක වී දියේ ගිලී සිටි ප්‍රධාන නියමුවාගේ ආසන පටි කපා ඉවත් කර ඔහු බෝට්ටුවක් මගින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බවත් ඔහු පැවසීය. පසුව ගිලන් රථයකින් මාරවිල රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව සාක්ෂි විභාගයේදී අනාවරණය විය.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා සහ සහකාර පොලිස් අධිකාරි අසේල පුවංශ යන මහත්වරුන්ගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.ඩී. සිරිවර්ධන මහතා විසින් මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval