matara-seelarathana-thero-speaks-about-the-terrifying-experience

 දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ගංවතුරට සිරවී පුත්තලම-අනුරාධපුර මාර්ගයේ කලාඔයසිරිවිජයබෝධිරාජාරාම විහාස්ථානය ඉදිරිපිටදී ඉකුත් 28 දා උදෑසන නැවතුණු බස් රථයේ වහලය මත ජීවිතයත් මරණයත් අතර සිටියදී නාවික හමුදාව විසින් එම ස්ථානයෙන් මුදාගෙන ජල පහරේ සැඩ පරුෂ බව සැලකිල්ලට ගෙන යාබද ගොඩනැගිල්ලක වහලයක් මත රඳවා සිටි පුද්ගලයන් 69 දෙනා අතර ඒ ආසන්නයේම පිහිටි පොල් ගසක් උඩ තමන් වහන්සේද සිටි බව මාතර සීලරතන හිමියෝ පැවසූහ.



සිද්ධියෙන් පසුව සිය විහාරස්ථානය පිහිටි මාතර ප්‍රදේශයට වැඩම කළ බව කියන උන්වහන්සේ මෙම සිද්ධියට අදාළව කිසියම් කටයුත්තක් සඳහා රාජාංගනය පොලීසියට වැඩම කරන අතරතුර එදා අනතුර සිදුවූ ස්ථානයද දැකබලා ගෙන යාම සඳහා 8 වැනිදා කලාඔය සිරි විජයබෝධිරාජාරාමයටද වැඩ සිටියදී අප සමග ඉතා සංවේදීව මේ බව සඳහන් කළහ.


තමන් ඉකුත් නොවැම්බර් මස 26දා වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයේ පූජාභූමියට වැඩමකර සිටි බවත් ඊට පසු දින එනම් 27 දින අනුරාධපුරයට ඇතිවූ තදබල වර්ෂාව හේතුවෙන් ආපසු දුම්රියෙන් කොළඹට ගොස් මාතරට යාම සඳහා රාත්‍රී දහයට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට වැඩම කළ බවත් මෙහිදී අප සමග පැවසූ උන්වහන්සේ නමුත් එම අවස්ථාවේදී දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීමක් නිසා කොළඹ දුම්රිය ගමන අවලංගුකර ඇති බව දැන ගැනීමෙන් පසුව පසුදින උදේ හයට පමණ පැමිණි අදාළ බස් රථයට ගොඩවන තෙක් තමන් දුම්රිය ස්ථානයේම තවත් මගින් පිරිසක් සමග රැය පහන් කළ බවත් පැවසූහ.


මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් සිය අත්දැකීම කෙටියෙන් මෙසේ විස්තර කළහ.


“බස් එක කලාඔය පංසල ඉස්සරහා වතුරෙ නවතිනකොට වෙලාව උදේ හයයි හතළිස් තුනට විතර ඇති. බස් එක නැවතුනාට පස්සෙ කාටවත් කර කියා ගන්න දෙයක් නැතිව ගියා බලද්දි වතුර පාරත් වැඩි වෙනව ඒ වෙලාවේ හැටියට බස් එක ඇතුළෙ තිබුණු කලබලේ මැද වුණත් පුළුවන් අය ඉදිරිපත් වෙලා බස් එකේ වහලයට කට්ටියම ගොඩකර ගත්ත. විදෙස් කාන්තාවක් හා නාවුක හමුදාවේ නිවාඩු යන තරුණ දරුවො දෙතුන් දෙනෙකුත් ඒ වගේම පස්සෙ දැන ගත්ත විදියට විනිසුරුතුමෙකුත් ඔය අතරෙ ඉඳල තියෙනව. ඔය අතරතුරේ පිරිමි කිහිපදෙනෙකු ඉදිරිපත් වෙලා බස් එකේ හිටපු කාන්තාවන්ගෙ බෑග්වල තිබුණු සාරි කිහිපයක් ඉල්ලගෙන බස් එක ඒකේ ජනෙල්වලට සම්බන්ධ කරල ඒ ළඟම තිබුණු ලයිට් කණුවෙ බැන්ද සැඩ පහරට බස් එක ගහගෙන යයි කියල.


බස් එක වතුරේ නවතිනකොට උදේ හයයි හතළිස් තුනට විතර ඇති කීවනෙ. හැබැයි ඒ අවස්ථාවෙම වගේ අර හමුදාවේ දරුවන් විනිසුරු තුමා මම ඇතුළු කිහිපදෙනෙකු අදාළ සෑම තැනකටම වගේ මේ පිළිබඳව කරල තිබුණු දැනුම්දීම් නිසා ඔය කලබල මැද්දෙම ඊට විනාඩි කිහිපයකට පසුව බෝට්ටුවකින් එතෙන්ට මිහිපිට දෙවියො වගේ ආපූ නාවුක හමුදාවේ දරුචො මට මතක හැටියට තුන්දෙනෙක් . අපි කට්ටිය වාර කිහිපයකට ළගම තිබුණු ඔය ගොඩනැගිල්ලෙ වහලය උඩට අරගෙන ගියා. ඒ දරුවො ගහේවාඩිය කඳවුරේ අය කියල පසුව දැනගත්ත. ඒ වෙලාවෙ හැටියට සැඩපහර වැඩියි වතුරත් වැඩිවෙනව. ඈතට යන්නත් බෑ.ඒ නිසා කට්ටියට වෙලාවෙ හැටියට තිබුණු ළඟම තිබුණු සුදුසුම ගොඩනැගිල්ල තමයි ඔය කඬේ වහලෙ. 





හේතුව මමත් කලින් දැක්ක වහලෙ ෂීට් වුණාට බාල්ක ළඟ ළඟ දාල තියෙන්නෙ කියල. ඒ බාල්ක දිගේ වගේ තමයි කට්ටිය වාඩි කෙරෙව්වෙත් ආයෙ කාටවත් නැගිටින්න දුන්නෙ නෑ පහුවදා බේර ගන්නකම්ම. හැබැයි මම ගිහි පිරිස අතරෙ වහලය උඩ නෙමෙයි හිටියෙ වහලෙට නැගල පස්සෙ බිත්තිය අයිනෙම තිබුණු පොල් ගහක කරටිය උඩට වෙලා හිටිය. ඒක මට සිද්ධිය වීඩියො කරන්නත් පහසුවක් වුණා. මමත් තවත් අයත් පුළුවන් තරම් තත්වය වීඩියො කර කර දන්න කියන වගකිවයුතු අයට යැව්ව. එහිදී අර නාවුක

හමුදාවේ දරුවො විනිසුරුතුමා එහෙමත් ඉහළම වගකිවයුතු අය පවා දැනුවත් කළා. අපි හැමෝම ඒ වෙලාවේ එකා වගෙ හිටියා. අන්තිමට අපිව බේරගන්න මෙහෙයුම ජනාධිපතිතුමා දක්වාම ගියා. අපිව බේරගන්න හෙලිකොප්ටර් ආවත් ඒකෙ සුළගින් වහලයට අනතුරක් වෙලා අපිටත් අනතුරක් වෙයි කියල හිතල ඒ වැඩෙත් ව්‍යර්ථ වුණා. ඔය අතරෙ එදා (28) සවස වහලෙ පිටුපස්සෙ කොටස කැඩිල හතර දෙනෙක්ව වතුරට වැටුණ. හැබැයි ඒ අය ආපහු උඩට ගත්ත. පිරිස අතරෙ වැඩිපුර හිටියෙ කාන්තා අය. 


පොඩි දරුවොත් පස්දෙනෙක් විතර හිටිය මතකයි. ඒ ආසන්නයෙන් ගහගෙන ගිය බිස්කට් පැකට් වගයක් වතුරෙම ගහගෙන ආපු ලීයකින් ළංකරගෙන උඩට ගත්ත. ඒ වෙලාවෙ ගංවතුර තත්වය කියනව නම් වහලෙ ඉඳගෙන කකුල් පහළට දැම්ම චතුර කකුල්වල ගෑවෙන තරමට කොහොම හරි අපිව බේරගන්න විශාල පිරිසක් උත්සහ කරපු බව අපි දැනගෙන තමයි හිටියෙ. නමුත් අපි දන්නව වතුරෙ තිබුණු සැරට ඒ කාටවත් ඒ වෙලාවේ හැටියට අපිව බේරගන්න එන්න බැරි බව.හැබැයි පළමු දවසෙම නාවුක හමුදාවේ බස් දරුවො ඇවිත් අපි කට්ටිය එකෙන් අරන් කඩේ වහලයට ගොඩ නොකරන්න. කෙනෙකුට සිතා ගන්නවත් බැරිවෙයි එහෙනම් අපිට වෙන දේ. මොකද අපි බස් එකෙන් වහලයට ගත්ත අවස්ථාවෙදිම වගේ බස් එකත් පෙරළිලා ගියා. නාවුක හමුදාවේ ඒ අය හරියට මිහිපිට දෙවියො කියල තමයි මම හිතන්නෙ.

ඒ අයත් ආපු ඩිංගි බෝට්ටුව පොල් ගහේ බැඳල. ඒකට හුළං ගගහා පහුවදා අපිව බේර ගන්නකම්ම කට්ටිය තනි නොකර බෝට්ටුවට වෙලා හිටිය. මෙහිදී කට්ටිය හිටපු වහලය පිහිටි ගොඩනැගිල්ලේ හිමිකාර මහතාවත් එය ඉදිකළ බාසුන්නැහැත් මේ අවස්ථාවෙදි පිං සිතින් සිහිපත් කරනව.


මේක විශේෂයෙන් සඳහන් කරන්න. අපි කට්ටිය බේරා ගැනීමේ මෙම මහා මෙහෙයුමේදී විශාල පිරිසක් සිටි බව අපි දන්නව. නිලතල භේදයකින් තොරව කොයි පැත්තෙන් හෝ ආපු, ඉහළ සිට මෙහෙයවපු විශේෂයෙන් නාවුක හමුදාව, පොලීසිය යුදහමුදාව, ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල අය, ජනාධිපති තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය, තවත් රාජ්‍ය නිලධාරීන් සිටියේ නම් ඔවුන්ව, අවට ගම්වාසී ජනතාව ඇතුළු මෙකී නොකී මීට මොනම ආකාරයකින් හෝ සම්බන්ධවූ සියලු දෙනාට අනේක වාරයක් පිං දෙනව. ආශීර්වාද කරනව. ඉදිරියේදී හැකි වුණොත් ඒ අය හමුවෙන්නත් මම බලාපොරොත්තු වෙනව.

ජයරත්න වික්‍රමාරච්චි