supply-is-low-demand-is-high-vegetable-prices-are-rising

 පසුගිය දිනවල නුවරඑළිය ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ එළවළු වගාවන්ට දැඩි හානි සිදුව ඇති අතර, මේ හේතුවෙන් වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම මත ඉදිරියේදී එළවළු මිල ගණන් ඉහළ යා හැකි බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් එස්. සනිද්දාසන් මහතා ප්‍රකාශ කළේය.



නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී (01) දින අදහස් දක්වමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ පැවති අයහපත් කාලගුණය වගාබිම් වෙත දැඩි බලපෑමක් එල්ල කළ බවත්, එළවළු තොග කොළඹට ප්‍රවාහනය කිරීමේදී මතු වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථානය විසින් ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීම පවා සිදු නොකළ බවයි.




වෙළෙඳපොළ මිල ගණන්වල සීඝ්‍ර වෙනසක් මේ වන විටත් පෙන්නුම් කරන අතර, මීට දින කිහිපයකට පෙර රුපියල් 100 වැනි තොග මිලකට අලෙවි වූ කැරට් කිලෝවක් (01) දින වන විට ගොවීන්ගෙන් රුපියල් 500ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට සිදු වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

මීට අමතරව පැවති අධික වර්ෂාවත් සමග අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීජ අර්තාපල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එම බීජ අර්තාපල් නැවත භාවිතයට ගත හැකි තත්ත්වයට පත් කර ගැනීම සඳහා අව්වේ දමා වේලා ගැනීමට ගොවීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවද එස්. සනිද්දාසන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.