
ආපදා තත්ත්වය හමුවේ සමස්ත රටම එකමුතුව කටයුතු කරන තීරණාත්මක මොහොතක, ජනතාව නොමඟ යවන සුළු අසත්‍ය තොරතුරු සහ පුවත් නිර්මාණය කර සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කරයි.
මහජනතාව තුළ අනවශ්‍ය බියක් සහ කැළඹීමක් ඇති කරන ආකාරයේ පුවත් පැතිරවීම සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි රැසක් ලැබී ඇති අතර, අදාළ පැමිණිලි මුල් කරගනිමින් පරිගණක විමර්ශන අංශය හරහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පශ්චාත් ආපදා සමය තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය කැපවීමෙන් කටයුතු කරන පසුබිමක් තුළ, ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් කිසිදු පදනමක් නොමැති, තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක රටම එකමුතුව සිටිය යුතු බැවින් සදාචාර විරෝධී කටයුතුවලින් වැළකී සිටින ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් හෙතෙම මහජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval