මේ වන විට පවතින ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බැවින් වසංගත රෝග සහ වාහක රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා අවධාරණය කර සිටී.
ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත් කිරීම සඳහා බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 50 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.විපතට පත් ජනතාව සඳහා ලබා දෙන වියළි ආහාර ද්‍රව්‍ය දීමනාව මුදලක් ලෙස බැංකුගත කිරීමට අමතරව, අවශ්‍යතාව මත වියළි ආහාර මලු ලෙස ලබා දීමට ද ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා තිබේ.
දින 07ක් සඳහා ලබා දෙන මෙම දීමනාව යටතේ තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා රුපියල් 4200ක්, තිදෙනෙකු සඳහා රුපියල් 6300ක්, හතර දෙනෙකු සඳහා රුපියල් 8400ක් සහ පස් දෙනෙකු හෝ ඊට වැඩි පවුල් සඳහා රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර ඇති අතර ප්‍රදේශයේ පවතින තත්ත්වය මත කමිටු තීරණ අනුව සුදුසු පරිදි සහන සැලසීමට අවසර ලබා දී ඇත.
ගංවතුරෙන් හානියට පත් නිවාසවල මඩ සහ සුන්බුන් ඉවත් කර පදිංචියට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට ද රජය තීරණය කර තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් නිකුත් කරන ලද සංශෝධිත චක්‍රලේඛයකට අනුව, නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ සෑම පදිංචිකරුවෙකුටම මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ඇති බව සහකාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.
දරුණු ලෙස ආපදාවට ලක්වූ ප්‍රදේශවල බිඳ වැටී තිබූ සන්නිවේදන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන අතර, සහන සේවා කටයුතුවල නිරත නිලධාරීන් මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ දැඩි කැපවීමකින් කටයුතු කරන බැවින් ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval