special-letter-from-the-mahanayake-theros-to-the-president-regarding-the-determination-of-the-date-of-the-vesak-full-moon-poya-in-2026

2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය යෙදෙන දින වකවානු සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වයක් නිරාකරණය කිරීම සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති දින දර්ශනයට අනුව 2026 මැයි මස 01 වන දින වෙසක් පොහොය ලෙසත්, මැයි 30 වන දින අධි පොසොන් පොහොය ලෙසත් නම් කර ඇත.

කෙසේ වෙතත්, 2026 මැයි මාසයේ පසළොස්වක පොහොය දින දෙකක් යෙදී තිබීමත්, මැයි 01 වන දිනට සාම්ප්‍රදායික විසා නැකත යෙදී නොමැති වීමත් හේතුවෙන් සමාජය තුළ මේ පිළිබඳව යම් දෙගිඩියාවක් නිර්මාණය වී ඇති බව උන්වහන්සේලා පෙන්වා දෙති.




සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය සැමරීම චිරාගත බෞද්ධ චාරිත්‍රවලට අනුව විසා නැකත යෙදෙන පසළොස්වක දිනයේදී සිදු කළ යුතු බව මහානායක හිමිවරු අවධාරණය කරති. බුද්ධවංශ පාලියට අනුව සිදුහත් උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුලම විසා නැකතෙන් සිදුවී ඇති බව තහවුරු වී ඇති බැවින්, එම නැකත යෙදෙන දිනය වෙසක් ලෙස පිළිගැනීම ශාසනික වශයෙන් අතිශය වැදගත් වේ. ඒ අනුව කරුණු විමසා බැලූ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව සහ නැකැත් ප්‍රවීණයන්ගේ ඒකමතික තීරණය වී ඇත්තේ විසා නැකත යෙදෙන 2026 මැයි 30 දිනට උදාවන පුර පසළොස්වක පොහොය දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම වඩාත් සුදුසු බවයි.

එබැවින් දැනට යොදා ඇති දින වකවානු සංශෝධනය කර, 2026 මැයි 30 වන දින වෙසක් පුන් පොහොය දිනය ලෙස රාජ්‍ය මට්ටමින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මෙම වෙනස සිදු කිරීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසත්, එමගින් චිරාගත ශාසනික හා ආගමික කටයුතු නිවැරදිව සිදු කිරීමට අවස්ථාව සැලසෙන බවත් එම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත. මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි මහානායක ස්වාමීන් වහන්සේලා මෙම ලිපිය සඳහා අත්සන් තබා ඇත.

news-2025-12-29-175332