son-files-lawsuit-against-mentertainment-for-uploading-mohidin-begs-songs-to-youtube

 නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී කලාශූරී මොහිදින් බෙග් මහතා විසින් ගායනා කරන ලද අතිශය ජනප්‍රිය ගීත 9ක් යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ ඒවායේ අයිතිය තෙවන පාර්ශවයන් වෙත පවරා දීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය විසින් එම්. එන්ටර්ටේන්මන්ට් (M. Entertainment Pvt Ltd) සමාගම වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මොහිදින් බෙග් මහතාගේ පුත්‍රයා වන මොහිදින් ඉල්ලියාස් බෙග් මහතා විසින් අදාළ සමාගමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි. අධිකරණය මගින් පනවන ලද මෙම වාරණ නියෝගයට අනුව 'සකල සතම බොදු බැතියෙන්', 'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ', 'සුවඳේ මට සීතල සුළඟ පවා', 'සම්මා සම්බුදු වූ', 'මල් සුගන්ධේ දම් සුගන්ධේ', 'බුදුන්ගේ අමා ධර්මේ', 'නින්දා ප්‍රශංසා', 'සරවන බව' සහ 'අනේක ජාති සංසාරේ' යන ගීත නවය එලෙස ප්‍රචාරය කිරීම තහනම් වනු ඇත.




පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ මෙම ගීතවල පටිගත කිරීම් සහ නිෂ්පාදනයට අදාළ බුද්ධිමය දේපළ අයිතිය නීත්‍යානුකූලව මොහිදින් ඉල්ලියාස් බෙග් මහතා සතු වන බවයි. විත්තිකාර සමාගම විසින් එම අයිතීන් උල්ලංඝනය කර ඇති බවත්, එම බුද්ධිමය දේපළ අයිතිය අනිසි ලෙස භාවිතා කිරීමට හෝ වෙනත් පාර්ශවයකට විකිණීමට ඉඩ දිය නොහැකි බවත් නීතිඥවරුන් අධිකරණය හමුවේ අවධාරණය කර ඇත.

මෙම නඩුවේ පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ තිළිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සඳුන් සේනාධිපති මහතා පෙනී සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය නඩුව නැවත කැඳවීම සඳහා මෙම මස 31 වැනිදා දින ලබා දී තිබේ.