දෙහිඅත්තකණ්ඩිය, මුවගම්මන ප්‍රදේශයේදී අද (17) දහවල් සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් මවක් සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගනය බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙනි.
අනතුරට ලක්වූ ත්‍රීරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, මාවනාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 02ක් වයසැති කුඩා දරුවා බව පොලිසිය හඳුනාගෙන ඇත.
ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වහාම දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් මව සහ බාල දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තුවාල ලැබූ පවුලේ අනෙක් පිරිමි දරුවාගේ වයස අවුරුදු 11ක් වන අතර, ඔහු සහ ත්‍රීරෝද රථය පැදවූ පියාගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබේ. අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval