රජයට රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට පවසා සිටියේ, වගඋත්තරකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් මේ වන විට පතා ඇති නමුත් එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. 2022 සහ 2023 වර්ෂයන් සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. 'ලෝලියා ස්කින් කෙයා' පුද්ගලික සමාගමේ හිමිකාරිනිය ලෙස කටයුතු කරන පියුමි හංසමාලි රුපියල් මිලියන 225ක බදු මුදලක් සහ විරංජිත් තාඹුගල මහතා රුපියල් මිලියන 194ක බදු මුදලක් වශයෙන් රජයට ගෙවිය යුතු හිඟ බදු, දඩ සහ පොලී මුදල් අය කර ගැනීම සඳහා මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙම වගඋත්තරකරුවන් දෙදෙනා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 සහ 190 වගන්ති ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදු කිරීම,
නිසි පරිදි බදු ලිපිගොනු පවත්වාගෙන නොයෑම සහ බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනාවලට වරදකරුවන් බව දේශීය ආදායම් කොමසාරිස්වරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ. මේ අතර, පියුමි හංසමාලි විසින් මෙම පැමිණිලිවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් වී නොමැති බව ද නීතිඥවරයා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කරමින් නඩුව ලබන අප්‍රේල් මස 29 වැනිදාට කල් තැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval