ice-worth-over-90-million-seized-in-karandeniya

අද (21) පෙරවරුවේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් කරන්දෙණිය 03 කණුව ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගතව සඟවා තිබූ රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් අටකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.




මෙම වැටලීම සිදුකර ඇත්තේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රුක්ෂාන් මහතාට ලැබුණු විශේෂ තොරතුරක් මතය. පොලීසිය තහවුරු කරන්නේ සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් අටකට අධික බවයි.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය ජාවාරම්කරුවන් විසින් කොටස් වශයෙන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි. ඉදිරි විමර්ශන කටයුතු සඳහා, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය පියවර ගෙන ඇත.




දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. රන්දෙණිය මහතාගේ සෘජු මෙහෙයවීමෙන් සාර්ථක කරගෙන ඇත.

මෙම විශේෂ මෙහෙයුම සඳහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බස්නායක, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් යන මහත්වරුන් ඇතුළු පොලිස් සැරයන්වරුන් වන ක්‍රිෂාන්ත (5462), ජයලාල් (58469), පොලිස් කොස්තාපල්වරුන් වන උදයකුමාර (82030), ජයසූරිය (106907), විතානච්චි (106103) සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරී අජිත් (10864) යන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.



(ජයකාන්ත ලියනගේ - බළපිටිය)

gossiplanka image 1
gossiplanka image 2