වෙන්නප්පුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන් මායිම් කරමින් ගලා බසින ගිංඔයේ නයිනමඩම පාලම මතින් ඉකුත් 28 වැනිදා සවස් කාලයේදී ඔයට පැන අතුරුදන්ව සිටි 17 හැවිරිදි තරුණියගේ නිසල දේහය ඊයේ (29) පෙරවරු කාලයේදී සොයා ගැනීමට හැකි වූ බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය තහවුරු කරයි. දිනක් පුරා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද දැඩි සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව ඇයගේ දේහය පාලම ආසන්නයේ දියමතුපිට පාවෙමින් තිබියදී මෙලෙස හමුවී තිබේ.
මෙම හදිසි මරණයත් සමඟ ප්‍රදේශයේ මහත් ශෝකජනක වාතාවරණයක් නිර්මාණය වී ඇති අතර පොලිස් විමර්ශන කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාඇල, බෝපිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වූ උමයංගනා සත්සරණි නැමැති 17 හැවිරිදි තරුණියකි. ඇය මියයන විට කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර පාසල් අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම ඛේදවාචකයට මුහුණ පෑ තරුණිය සහ ඇය බේරා ගැනීමට උත්සාහ කළ තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට තොරතුරු වාර්තා වී ඇත.
සිද්ධිය වූ ඉකුත් 28 වැනිදා සවස 5.30 ට පමණ මෙම තරුණිය නයිනමඩම ගිංඔය පාලම අසලට පැමිණ ඇති අතර, ඇය විසින් සිය ජංගම දුරකථනය මාර්ගයෙන් සිය පෙම්වතා බව කියන තරුණයා අමතා වහාම එම ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. එම ඇමතුමට අනුව ක්‍රියාත්මක වී ඇති තරුණයා සිය තවත් මිතුරෙකු ද සමඟ යතුරුපැදියකින් අදාළ ස්ථානයට පැමිණ ඇත. පාලම අසල දී හමුවූ දෙදෙනා විනාඩි දහයක පමණ කාලයක් කතාබස් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී තරුණියගේ මවගෙන් ඇයට දුරකථන ඇමතුමක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි. අදාළ ඇමතුම ලබාගත් මව විසින් නිවසට නොදන්වා පැමිණීම සම්බන්ධයෙන් තරුණියට තරයේ දොස් පවරා බැණ වැදී ඇති බවත්, එම ඇමතුමෙන් පසුව තරුණිය දැඩි ලෙස කලබලයට සහ බියට පත්ව ඇති බවත් ඇයගේ පෙම්වතා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
මවගේ බැණ වැදීමෙන් පසුව දැඩි ලෙස සිත්තැවුලට පත් තරුණිය තමාට නැවත නිවසට යාමට නොහැකි බවත් මව තමාට බණින බවත් පවසමින් හඬා වැළපී තිබේ. පසුව ඇය බස් නැවතුම්පොළ දෙසට ගමන් කර නැවත වරක් පාලම දෙසට පැමිණ ඇති අතර, කිසිවෙකුත් නොසිතූ මොහොතක ඇය එකවරම ගිංඔයට පැන ඇත. ඇය දියට පනිනවාත් සමඟම ඇයව බේරා ගැනීමේ අරමුණින් එතැන සිටි 18 හැවිරිදි පෙම්වතා ද ක්ෂණිකව ගඟට පැන තිබේ. තමා දියට පැන ඇයව අල්ලා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවත්, ඇයව අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය විසින් තම අත තල්ලු කර දැමූ බවත් දිවි ගලවා ගත් තරුණයා පොලිසියට පවසා ඇත.
මෙම තරුණ යුවළ ගඟට පනින අයුරු එම ස්ථානයට ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනෙකු දැක ඇති අතර, ඔවුන් වහාම ක්‍රියාත්මක වී දෙදෙනා බේරා ගැනීම සඳහා ගඟට කඹයක් දමා තිබේ. දියේ ගිලෙමින් සිටි තරුණයා එම කඹයේ ආධාරයෙන් එල්ලී දිවි බේරාගෙන ගොඩට පැමිණීමට සමත් වුවද, දිය පහරට හසුවූ තරුණිය දියේ ගිලී අතුරුදන් වී තිබේ. සිද්ධිය වූ වහාම ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව එදින (28) රාත්‍රී වනතුරු දැඩි පරිශ්‍රමයක් යොදා තරුණිය සොයා මෙහෙයුම් දියත් කළද රාත්‍රී අඳුර හේතුවෙන් සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇත.
අනතුරුව පසුදා එනම් ඊයේ (29) උදෑසන කාලයේදී නැවතත් බෝට්ටු යොදා ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී දියමත පාවෙමින් තිබූ තරුණියගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ. දිවි බේරාගත් වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි රුමේෂ් ලක්ෂාන් නැමැති තරුණයා 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් වහාම මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. මේ වන විට ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව පවුලේ අභ්‍යන්තර ගැටලුවක් ද එසේත් නොමැතිනම් ප්‍රේම සම්බන්ධතාව මුල් කරගත් සිත් තැවුලක් ද යන්න පිළිබඳව පොලිසිය විසින් විමර්ශන පවත්වයි. මියගිය තරුණියගේ මව මේ වන විට දෙවන විවාහයක් සිදුකරගෙන සිටින බවත්, පවුල තුළ යම් යම් අභ්‍යන්තර ආරවුල් පැවත ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇති කරුණු අතර වේ. කෙසේ වෙතත් තරුණිය ගිංඔයට පැනීමට ආසන්නතම හේතුව නිවසින් ලැබුණු දුරකථන ඇමතුම සහ ඉන් ඇතිවූ බිය බවට සැක කෙරේ.
හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ සෘජු උපදෙස් මත උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.