සේවය නිමවා යතුරුපැදියකින් නිවස බලා යමින් සිටි කරණවෑමියෙකුට මග රැක සිට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 16 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම බිහිසුණු අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතුගම, චෝගන් වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි 41 හැවිරිදි එස්. ශශි කුමාර් නැමැති තිදරු පියෙකි. කරණවෑමියෙකු ලෙස වෘත්තියේ නියැලුණු මොහු,
එදින රාත්‍රියේ සිය රාජකාරි කටයුතු අවසන් කර චෝගන් වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට ද සහභාගී වී නැවත යතුරුපැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී අතරමග රැක සිටි ඝාතකයාගේ ප්‍රහාරයට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු අතර කලක පටන් පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට ආසන්නතම හේතුව වී ඇති බවයි. මලබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අපරාධය සිදු කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ශශි කුමාර් මහතා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පුෂ්පා ජයතිලක මහතාගේ උපදෙස් හා මෙහෙයවීම පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.ඊ.ඩී. උදයංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval