renovation-is-not-easy-several-upcountry-train-services-are-expected-to-be-suspended-for-a-while

 පස් කඳු කඩා වැටීම සහ නායයෑම් හේතුවෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ කොටස් කිහිපයක ධාවන තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඊයේ (16) පරීක්ෂණ දුම්රියක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අඹේවෙල සිට බදුල්ල දක්වා මෙම විශේෂ පරීක්ෂණ දුම්රිය ධාවනය කර ඇති අතර,

එහි අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ සේවකයින් ප්‍රවාහනය කරමින් මාර්ගයේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සිදු කර ඇත.




දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ දැඩි කැපවීම මත හානියට පත් මාර්ග කොටස් පිළිසකර කරමින් පවතින බවත්, මගී ප්‍රවාහනය සඳහා මාර්ගය විවෘත කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂා කර ආරක්ෂිත සහතිකය ලබා ගැනීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උඩ පළාත දිස්ත්‍රික් ඉංජිනේරු දනූශ්ක දිසානායක මහතා පැවසීය. ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුවන මෙම කටයුතු අතරතුර, නාවලපිටියේ සිට කොටගල දක්වා ඊයේ දිනයේද, බණ්ඩාරවෙල සිට අඹේවෙල දක්වා පෙරේදා (15) දිනයේද තවත් සේවා දුම්රියන් ධාවනය කර තිබේ.

කෙසේ වෙතත් කොටගල සිට අඹේවෙල දක්වා වූ මාර්ග කොටස යථා තත්ත්වයට පත් කිරීම අතිශය දුෂ්කර හා අභියෝගාත්මක වී ඇති බව මාර්ග නඩත්තු ඉංජිනේරුවරූ පෙන්වා දෙති. කොටගල, ග්‍රේට්වෙස්ටන්,


නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන ආශ්‍රිතව මීටර් 50ත් 100ත් අතර මාර්ග කොටස් නායයෑමට ලක්ව ඇති අතර දුම්රිය පීලි සහ සිල්පර කොටවලට දැඩි හානි සිදුව ඇත.

විශේෂයෙන් ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය ආශ්‍රිතව නායගිය ස්ථාන පස් දමා ගොඩකිරීම හෝ විකල්ප මාර්ගයක් කැපීම ප්‍රායෝගිකව අපහසු තත්ත්වයක පවතින බැවින්, කොටගල සිට නානුඔය දක්වා කොටස යථා තත්ත්වයට පත් කිරීමට දිගු කාලයක් ගතවනු ඇත. මීට අමතරව පේරාදෙණිය පාලමට සිදුව ඇති හානි සහ නාවලපිටිය ගඩොල් බෝක්කුව ආසන්නයේ සිදුවූ නායයෑම් හේතුවෙන් මහනුවර සිට නාවලපිටිය දක්වා දුම්රිය ධාවනයට ද තවමත් බාධා එල්ල වී තිබේ.