prohibited-from-building-houses-in-places-that-pose-a-danger-to-displaced-people

 නායයෑම් හේතුවෙන් අවතැන් වූ ජනතාවට නැවත වරක් එම අනතුරුදායක නිවාස හෝ ඉඩම් වෙත යාමට රජය කිසිසේත් අවසර ලබා නොදෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. යම් ප්‍රදේශයක් නායයෑමේ අවදානමට ලක්ව ඇති බවට විද්‍යාත්මකව හඳුනාගතහොත්, එම ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කරවීම වළක්වාලමින් රජය මෙම තීරණය ගෙන තිබේ.



එසේ හඳුනාගනු ලබන නායයෑම් අවදානම් සහිත ඉඩම් රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත්,


ඒ වෙනුවට ඉඩම් සහ නිවාස අහිමි වූවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය. තවද, ජනතාව නැවතත් මෙවැනි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි වීම නීතියෙන්ම වැළැක්වීම සඳහා දැනට පවතින ඉඩම් නීතිවලට අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදු කිරීමට ද නියමිතව ඇත.

අතීතයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසුව රජය විසින් විපතට පත් ජනතාවට නව ඉඩම් ලබා දුන්න ද, මුහුදු ඛාදනයට හෝ සුනාමි අවදානමට ලක්විය හැකි වෙරළාසන්න ඉඩම් රජයට පවරා ගැනීමක් සිදු නොකළ බව චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස අවතැන් වූ බොහෝ පිරිසක් තමන්ට ලැබුණු නව ඉඩම් තමන් සන්තකයේ තබා ගනිමින්ම,


නැවතත් තම පැරණි අවදානම් සහිත ඉඩම්වල පදිංචියට ගිය බව හෙතෙම සිහිපත් කළේය. මෙවර එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා නායයෑම් අවදානම ඇති ඉඩම් අනිවාර්යයෙන්ම රජයට පවරා ගැනීමට තීරණය කර ඇත.

මේ අතර, සුළි කුණාටුවෙන් රටට සහ ජනතාවට සිදු වූ හානිය පිළිබඳ නිවැරදි සහ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම සඳහා පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමක් පළමුව සිදු කිරීමට නියමිත බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන අංශය මගින් සිදු කරනු ලබන මෙම තක්සේරු කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවම වශයෙන් මාස තුනක කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.