government-employees-unpaid-leave-cancelled

 රාජ්‍ය නිලධාරීන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ දේශීය සහ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.



පසුගිය නොවැම්බර් මස 24 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණයකට අනුව මෙම නව ක්‍රියාමාර්ගය ගත් බව අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සඳහන් කරයි.




මෙම තීරණයත් සමඟ නව නිවාඩු අයදුම්පත්‍ර භාරගැනීම හෝ දැනට ලබාගෙන ඇති නිවාඩු දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත්‍ර භාරගැනීම වහාම නතර කළ යුතු බව දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට බාධාවක් නොවන පරිදි, වසර පහක උපරිම කාලයකට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසමින් 2022 වසරේ ජුනි මස 22 වන දින විශේෂ චක්‍රලේඛයක් හඳුන්වා දී තිබුණි.

නව තීරණය ක්‍රියාත්මක වුවද,


මේ වන විටත් දේශීය හෝ විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන්ට ඔවුන්ට අනුමත කර ඇති කාල සීමාව තුළ එම නිවාඩුව ඒ අයුරින්ම භුක්ති විඳීමේ හැකියාව පවතින බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම නිවාඩු සඳහා අනුමැතිය හිමිවී තිබුණද මෙතෙක් එම නිවාඩුව ලබා නොගත් නිලධාරීන්ට ද, අනුමත කර ඇති කාල සීමාවට අදාළ වන පරිදි එම නිවාඩුව ලබා ගැනීමේ බාධාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තහවුරු කරයි.