ගංවතුර ආපදාව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස දෙකකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
ගංවතුර තත්ත්වය හමුවේ පේරාදෙණිය දුම්රිය පාලමට විශාල හානියක් සිදුව ඇති අතර, එම පාලම පිළිසකර කිරීමේ කටයුත්ත මේ මොහොතේ බලධාරීන් හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් පේරාදෙණිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර, එහි පළමු පියවර ලෙස පාලම තුළ සිරවී ඇති අපද්‍රව්‍ය නාවික හමුදාවේ සහාය ඇතිව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
උඩරට මාර්ගයේ ඉහළ දුම්රිය ස්ථාන ආශ්‍රිතව දුම්රියන් අටක් පමණ සිරවී ඇති බැවින්,
ඒවා නැවත පහළට රැගෙන ඒම සඳහා මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.
මෙම අභියෝගය භාර ගනිමින් රඹුක්කන සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ග කොටස කඩිනමින් පිළිසකර කිරීම තම අමාත්‍යාංශයේ මූලික අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් ද මෙම ගංවතුර උවදුරට ගොදුරු වී සිටින බැවින්, මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවකයන් යෙදවීමේදී ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බව ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval