president-orders-to-complete-distribution-of-50000-and-25000-allowances-before-december-31

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී ඇත්තේ, නිවාස පිරිසිදු කිරීම සඳහා වන රුපියල් 25,000ක දීමනාව සහ ගෘහ උපකරණ මිලදී ගැනීම පිණිස වන රුපියල් 50,000ක දීමනාව දෙසැම්බර් 31 වැනිදාට පෙර ජනතාවට කඩිනමින් ලබා දෙන ලෙසයි. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 20 වැනිදා කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ආපදා තත්ත්වයෙන් පසුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ හා එහිදී මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් ඇතුළු විවිධ විෂයයන්ට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට සහභාගී වූහ.




නිවාස හා වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථාන කළමනාකරණය, ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය, ජීවනෝපාය මාර්ග ප්‍රතිසංස්කරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහන්හි ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් විමසා බැලිණි. විශේෂයෙන්ම වන්දි ලබාදීමේ ක්‍රියාවලියේදී පැනනැගී ඇති ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ අතර, ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම කටයුතු කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව සිදු කළ යුතු බවයි. කිසිවකුටත් අසාධාරණයක් නොවන පරිදි, වන්දි හිමි සියලු දෙනාටම එම ප්‍රතිලාභය නොපමාව ලබා දීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

ජනතාව නැවත පදිංචි කිරීම හා ඊට අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ප්‍රධාන දිස්ත්‍රික්ක ඉලක්ක කරගත් නව නිවාස ව්‍යාපෘති සඳහා වෙනම සැලසුම් සකස් කිරීමටත්, ඊට අදාළ පාර්ශ්වයන් සමඟ නැවත සාකච්ඡාවක් කැඳවීමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. තවද, අධි අවදානම් කලාපවල ජනතාව කඩිනමින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව මෙන්ම, නිවාස හානි සඳහා වන්දි ගෙවීමේදී සාධාරණත්වය හා විනිවිදභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. මහ කන්නය සඳහා ගොවි ජනතාව සූදානම් කිරීම වෙනුවෙන් වාරිමාර්ග ප්‍රතිසංස්කරණ, වන්දි ගෙවීම් හා බිත්තර වී ඇතුළු පහසුකම් ලබාදීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු විමසා බැලීය.




හානියට පත් සත්ව ගොවිපොළ හිමියන්ට වන්දි ලබා දී ඔවුන්ගේ ජීවනෝපාය යළි නඟා සිටුවීම, ආපදාවෙන් විනාශ වූ කුඩා ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය ප්‍රතිසංස්කරණය කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතිය ද සාකච්ඡාවට බඳුන් විය. විනාශ වූ ගුවන් ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් කඩිනමින් යළි නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.