the-story-of-the-officers-who-said-they-could-not-give-orders-without-an-emergency-law-and-the-people-who-came-voluntarily-in-boats

 2025 නොවැම්බර් 30 වන දින උදෑසන, දෙල්තොට, පට්ටියගම ප්‍රදේශයෙන් හද කම්පා කරවන පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ මතු විය. දුර්වල දුරකථන සංඥා මධ්‍යයේ යන්තමින් ටයිප් කර තිබූ එම පණිවිඩයෙන් විස්තර වූයේ හුදකලාවීම, බිය සහ බලාපොරොත්තු රහිත බවයි. "මෙහි විදුලිය නැත, දුරකථන ජාලය ද ඉතා දුර්වලය. මාර්ග තවමත් අවහිර වී ඇත. කිසිවෙකු තවමත් අප සොයා පැමිණියේ නැත.

ආහාර ද්‍රව්‍යවල මිල ඉතා ඉහළය. අප ජීවතුන් අතරද නැද්ද යන්න සොයා බැලීමටවත් කිසිවෙකු පැමිණියේ නැත. ඥාතීන් ගංවතුරට හසුවී එම ස්ථානයේම වැළලී ගියේය. මෙම පණිවිඩය හෝ යයිදැයි සැක සහිතය. බැංකු පහසුකම් ද නැත. අපට ජලය ලබා ගැනීමටවත් ක්‍රමයක් නැත. සියල්ල කැඩී බිඳී ගොසිනි. අප සිටින්නේ ඉතා දුෂ්කර අභ්‍යන්තර ප්‍රදේශයකය. රජය තවමත් මේ ඇතුළට පැමිණ නැත" යනුවෙන් එහි සටහන්ව තිබුණි.

මෙම ආයාචනය මධ්‍යම කඳුකරයේ ගම්මාන සියගණනක් පුරා දිග හැරෙමින් පවතින ඛේදවාචකය මනාව පෙන්නුම් කරයි. නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නායයෑම්, හදිසි ගංවතුර සහ ගංගා පිටාර ගැලීම් සිදු වූ අතර, ශ්‍රී ලංකාව මෑත දශකවල මුහුණ දුන් බරපතලම ස්වභාවික විපත්වලින් එකකට මුහුණ දෙමින් සිටී. ව්‍යසනයේ ප්‍රමාණය වඩාත් පැහැදිලි වත්ම, රටට දැරිය නොහැකි තරම් මිනිස් ජීවිත හානියක් සිදුව ඇති බව තහවුරු විය. දෙසැම්බර් 02 වන විට පුද්ගලයින් 400 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව තහවුරු වූ අතර, 336 දෙනෙකු පමණ අතුරුදහන් වී තිබුණි.

සමස්ත ගම්මාන ජලයෙන් යට වී, පස් කඳු යට වැළලී හෝ ගසාගෙන ගොස් ඇති අතර හුදකලා වූ ප්‍රජාවන් තුළ මාර්ග කඩා වැටීම, විදුලිබල ජාල ඇණහිටීම, සන්නිවේදන බිඳ වැටීම සහ පිරිසිදු ජලය නොමැතිකම වැනි බරපතල ගැටළු මතු විය.


නොවැම්බර් මැද භාගයේ සිටම කාලගුණ විද්‍යා බලධාරීන් විසින් අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් සහ නායයෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද, ජන ජීවිතය බොහෝ දුරට බාධාවකින් තොරව පවත්වාගෙන ගියේය. පොදු ගමනාගමනය සීමා නොකෙරුණු අතර, ජාතික විභාග පැවැත්වූයේය. දින කිහිපයක් ඇතුළත කලාපයේ මෙතෙක් වාර්තා වූ අධිකම වර්ෂාපතනයකට මුහුණ දීමට සිදුවන බව නොදැන බොහෝ බෑවුම් සහිත ප්‍රදේශවල ජනතාව තම නිවෙස්වලම රැඳී සිටියහ. 2016 දී පුද්ගලයන් 127 දෙනෙකුට මරු කැඳවූ අරණායක නායයෑමේ සිට මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිදුවූ කුඩා පරිමාණයේ බෑවුම් කඩා වැටීම් දක්වා පෙර අත්දැකීම් තිබියදීත්, මෙවර පූර්ව අනතුරු ඇඟවීම් සහ පෙර සූදානම අතර පැවති පරතරය බරපතල ගැටළුවක් බවට පත්ව තිබේ.

මාතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, රත්තොට, මහනුවර සහ ගම්පොළ යන ප්‍රදේශවලින් වඩාත් ශෝකජනක පුවත් වාර්තා වූ අතර, එහිදී අස්ථාවර බෑවුම් නොනවත්වා ඇද හැලුණු වර්ෂාව හමුවේ කඩා වැටුණි. අකුරණට නුදුරු රඹුකෙළ විලානගම ප්‍රදේශය දරුණුතම විනාශයකට ගොදුරු වූ අතර, නොවැම්බර් 29 වන දින අලුයම නිවාස 40ක් පමණ පස් කඳු යට වැළලී ගියේය. අනතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබුණු බව ප්‍රදේශවාසීන් පවසයි. පස් කඳු කඩා වැටෙන විට මුළු පවුල් පිටින්ම නින්දේ පසුවිය. ප්‍රාදේශීය සහන කණ්ඩායම් විස්තර කළේ මඩ, කැඩුණු බාල්ක, ඉදිරී ගිය ගස් සහ භයංකර නිහැඬියාවකින් යුත් බිහිසුණු දර්ශනයකි. එක් දිවි ගලවා ගත් අයෙක් දුරකථනයෙන් පැවසුවේ, "එය හද කම්පා කරවන සුළුයි. ඔවුන් සියල්ලන්ම පාහේ නැති වී ඇති බව අපි විශ්වාස කරනවා. සිරුරු 11ක් පමණයි සොයාගත්තේ" යනුවෙනි. අරණායක වැනි නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ නැවතත් ව්‍යසනයට ගොදුරු වූ අතර, දින ගණනක් පුරා පැවති වර්ෂාව හේතුවෙන් සහන කණ්ඩායම්වලට විපතට පත් ප්‍රදේශ කරා ළඟා වීමට අපහසු විය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පසෙහි අස්ථාවරත්වය පිළිබඳව දේශීය භූ විද්‍යාඥයින් සහ ආපදා විශේෂඥයින් දිගු කලක සිට අනතුරු අඟවා තිබුණි. පාංශු සංයුතිය, වන විනාශය සහ වෙනස් වන වර්ෂාපතන රටා මෙම අවදානම ඉහළ නැංවීමට හේතු වී ඇත. නොවැම්බර් අග භාගයේදී විශේෂඥයින් විසින් ඉහළ අවදානම් සහිත බෑවුම් පිළිබඳ අනතුරු ඇඟවීම් නැවත අවධාරණය කරමින් තීරණාත්මක ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියද, රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිචාරය මන්දගාමී විය. ජනාධිපතිවරයා සහ අමාත්‍යවරුන් රූපවාහිනී ඇමතුම් හරහා දිස්ත්‍රික් නිලධාරීන් අමතමින් ක්ෂුද්‍ර කළමනාකරණයක යෙදෙන ආකාරය දැකගත හැකි විය. ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් සජීවීව නිලධාරීන් අමතමින් උපදෙස් ලබා දෙන අයුරු වෛරස් වීඩියෝ මගින් ප්‍රචාරය වුවද, විචාරකයින් පවසන්නේ එයින් නායකත්වය විදහා දැක්වීමට උත්සාහ කළත්, සැබවින්ම ඉන් හෙළි වූයේ ව්‍යාකූලත්වය, ප්‍රමාදයන් සහ පූර්ව සැලසුම් කළ සම්බන්ධීකරණයක් නොමැතිකම බවයි. ජනාධිපතිවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කළේ නොවැම්බර් 29 වන දින වන විටය.


නමුත් ඒ වන විටත් 'ඩිත්වහ්' සුළි කුණාටුවෙන් විශාල හානියක් සිදුවී තිබුණි.

ක්ෂේත්‍රයෙන් ලැබෙන වාර්තා අනුව පරිපාලනමය බියක් (Administrative fear) කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇත. එක් නැගෙනහිර දිස්ත්‍රික්කයක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර හදිසි සැපයුම් ලබා ගැනීමට මැලි වූයේ, ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි මග හැරීම නිසා පසුව දූෂණ චෝදනා එල්ල වේ යැයි බියෙනි. සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද මෙවැනිම අභියෝග වාර්තා කළහ. පසුව පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවේ යැයි බියෙන් ප්‍රාදේශීය වෙළෙන්දන්ගෙන් ණයට ආහාර හෝ බෙහෙත් ලබා ගැනීමට පවා නිලධාරීන් පසුබට විය. සහන කටයුතු සම්බන්ධීකරණය කළ ස්වේච්ඡා සේවකයෙකු පැවසුවේ, "ඔවුන් නොසැලකිලිමත් වුණා නොවේ, ඔවුන් බියට පත් වී සිටියා. හදිසි තීරණ පසුව ප්‍රශ්න කරනු ඇත්දැයි ඔවුන් දැන සිටියේ නැහැ" යනුවෙනි. මෙම ක්‍රියා පටිපාටිමය අකර්මණ්‍යතාවය (Procedural paralysis) හේතුවෙන් ගම්මාන නාය යද්දී නිලධාරීන් ලිපි ලේඛන සහ අනුමැතිය ලැබෙන තෙක් බලා සිටියහ.

ප්‍රවාහන අංශයේ අසාර්ථකත්වයන් මහජන කෝපය තවදුරටත් වැඩි කිරීමට හේතු විය. කම්පන හේතුවෙන් අස්ථාවර බෑවුම් තවදුරටත් දුර්වල විය හැකි බවට ප්‍රදේශවාසීන් කළ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් උඩරට දුම්රිය ධාවනය කලින් නතර නොකිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයට චෝදනා එල්ල විය. එම කාලයේදීම රාජාංගනය කලා ඔය පාලම අසලදී ගංවතුරට හසු වූ බස් රථයක් ගසාගෙන යන අයුරු සජීවීව විකාශය විය. ජාතියම බලා සිටියදී මගීන් බේරා ගැනීමට සහන කණ්ඩායම් දැඩි වෙහෙසක් දැරීය. ඔවුන්ගේ නිර්භීතකම ජනාධිපතිවරයා අගය කළද, මාර්ග සහ ගංවතුර අනතුරු ඇඟවීම් මෙතරම් අකාර්යක්ෂම ලෙස කළමනාකරණය කළේ මන්දැයි මහජනතාව ප්‍රශ්න කළහ.

රාජ්‍ය පද්ධති පසුබට වෙද්දී සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෝ පෙරට පැමිණියහ. ධීවර ප්‍රජාව තම බෝට්ටු රැගෙන විත් කොටු වී සිටි පවුල් බේරා ගත් අතර, අසල්වැසියන් ඉණවටක් ජලයේ ගමන් කරමින් වැඩිහිටියන්ව ඔසවාගෙන ගියහ. තරුණ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා හරහා සංවිධානය වෙමින් සහන සැපයුම් ජාල ගොඩනැගූහ. ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර අවම වශයෙන් එක් ගුවන් හමුදා නිලධාරියෙකු සහ නාවික හමුදා සාමාජිකයින් පස් දෙනෙකුට ජීවිත අහිමි විය. මෙම ව්‍යසනයේදී ප්‍රජාව, සිවිල් සමාජ සංවිධාන සහ කාන්තා කණ්ඩායම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද, රජය විසින් තීරණ ගැනීම මධ්‍යගත කිරීම සහ ප්‍රජා සහභාගීත්වය සීමා කිරීම විවේචනයට ලක්ව ඇත. ආධාර සහ ප්‍රතිසංස්කරණ කළමනාකරණය සඳහා පත් කරන ලද නව ජාතික කණ්ඩායම සම්පූර්ණයෙන්ම පිරිමින්ගෙන් සමන්විත වීම සහ කම්කරු අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ ව්‍යාපාරිකයින් ඊට ඇතුළත්වීම ගැටළු සහගතය.

එමෙන්ම විදේශ ආධාර ආරක්ෂක අමාත්‍යාංශය හරහා යොමු කළ යුතු බවට නිකුත් වූ චක්‍රලේඛය හමුදාකරණය පිළිබඳ සැක මතු කරයි.

සුළි කුණාටුවේ බලපෑම ඓතිහාසිකව කොන් වූ ප්‍රජාවන්ට, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ වතුකරයේ දෙමළ ජනතාවට දැඩිව දැනුණි. ආර්ථික නොසලකා හැරීම් සහ ඉඩම් අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින මොවුන් බොහෝ දෙනෙක් ජීවත් වන්නේ රජයේ සහායක් නොමැතිව දැඩි බෑවුම් සහිත ප්‍රදේශවලය. මෙවර ඔවුන්ගේ මුළු පවුල් පිටින්ම පස් කඳු යට වැළලී ගිය අතර, නුවරඑළිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ, "සියවස් ගණනාවක් තිස්සේ උඩරට නොසලකා හැර ඇත. අපගේ ආරක්ෂාව සැමවිටම ජාතික ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළම මට්ටමේ පවතී" යනුවෙනි. කොත්මලේ ජලාශයෙන් හදිසියේ ජලය මුදා හැරීම ගම්පොළ නගරයේ ව්‍යසනයට දායක වූ බවට ද චෝදනා එල්ල වේ.

ඩිත්වහ් සුළි කුණාටුව භෞතික අවදානම් පමණක් නොව, ග්‍රාමීය ශ්‍රී ලංකාවේ සමාජීය සහ දේශපාලනික දුර්වලතා ද නිරාවරණය කළේය. පැහැදිලිව හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට නියෝග ක්‍රියාත්මක නොකළේ ඇයි? සන්නිවේදන ජාල සහ හදිසි සැපයුම් බිඳ වැටුණේ ඇයි? ජීවිත අවදානම් අවස්ථාවකදී නිලධාරීන් ක්‍රියා පටිපාටිවලට බිය වූයේ ඇයි? මේවාට අවංක පිළිතුරු සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. මෙම ව්‍යසනය සාමාන්‍ය පුරවැසියන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ආයතනික පද්ධතිවල අසාර්ථකත්වය ද පෙන්නුම් කළේය. අනාගත ව්‍යසනවලට මුහුණ දීමේදී පෙර සූදානම සහ සමානාත්මතාවය පවතීද, නැතහොත් නොසලකා හැරීමේ චක්‍රය දිගටම පවතීද යන්න තීරණය වන්නේ ඉදිරි සති හා මාසවලදී ජාතිය ප්‍රතිචාර දක්වන ආකාරය මතය.
(ඩේලි මිරර් ඇසුරිනි)