පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර දැනුවත්ව රිය පදවා අනතුරක් සිදුකළහොත් සාමාන්‍ය රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේද ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් පවතින උපරිම දඩ මුදල රුපියල් 25,000ක් වන අතර, යම් හෙයකින් බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර අනතුරක් සිදුකළහොත් රියදුරු බලපත්‍රය අත්හිටුවීමට අමතරව රුපියල් 1,50,000ක් දක්වා දඩයකට යටත් කිරීමටද හැකියාව පවතින බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.
සේනාධීර මහතා ප්‍රකාශ කළේය.මෙම කරුණු අනාවරණය වූයේ බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ඊයේ (දෙසැම්බර් 29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගිය කාලයේ පැවති රියදුරන් පරීක්ෂා කිරීමේ නළවල හිඟය මඟහරවා ගනිමින් දෙසැම්බර් 24 වන විට අලුතින් නළ 75,000ක් මිලදී ගෙන ඇති බවත්, මෙම පහසුකම් පුළුල් කිරීමත් සමඟ රථවාහන පරීක්ෂා කිරීම් තවදුරටත් තීව්‍ර කර ඇති බවත් හෙතෙම පැවසීය. කුමන තරාතිරමක පුද්ගලයකු වුවද බීමතින් රිය පැදවූයේ නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසට රථවාහන අංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ වසරේ මෙරට මාරක රිය අනතුරු සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 271කින්ද, මියගිය සංඛ්‍යාව 317කින්ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා, මාරක අනතුරුවලින් වැඩිම ප්‍රතිශතයක් පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද සඳහන් කළේය. බීමතින් රිය පැදවීමේ බරපතළකම අවධාරණය කරමින් ඔහු සිහිපත් කළේ, 2005 වසරේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙකු මියගිය සිද්ධියට අදාළ රියදුරාට 2013 වසරේදී මරණ දඬුවම නියම වූ බවයි.
හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සපුගස්කන්ද පොලිසිය සතුව මත්පැන් පරීක්ෂණ නළ නොතිබුණේ යැයි පැවසිය නොහැකි බවත්, එසේ නොමැති වුවද ළඟම පොලිසියකින් ඒවා ගෙන්වා ගැනීමට හැකියාව තිබූ බවත් පැහැදිලි කළේය. අදාළ අවස්ථාවේ හිටපු කතානායකවරයා රෝහල් ගත කළ අවස්ථාවේ අධිකරණ වෛද්‍ය පෝරමයක් ලබා නොදීම හේතුවෙන් ඔහු බීමතින් සිටියේද යන්න තහවුරු කර ගැනීමට නොහැකි වූ බවද, මෙය සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා බරපතළ ලෙස රාජකාරිය පැහැර හැරීමක් බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, රියදුරන් සිදුකරන වැරදි සඳහා ලකුණු ගණනය කරන 'Demerit System' ක්‍රමවේදය ලබන ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය. ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොළ මහත්මියගේ අවමංගල්‍ය උත්සවය සහ දෙසැම්බර් 31 වන දින කොළඹ පැවැත්වෙන උත්සව සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවත්, රථවාහන දඩ ගෙවීම පහසු කිරීම සඳහා හඳුන්වා දුන් 'Gov Pay' යෙදුම හරහා දැනටමත් රජයට රුපියල් මිලියන 7කට අධික ආදායමක් ලැබී ඇති බවත්, ඉදිරියේදී එම පහසුකම මධ්‍යම සහ සබරගමුව පළාත්වලට ද ලබා දීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.