indictment-against-ampitiye-sumana-thero

 ජාතීන් අතර සංහිඳියාවට බාධා වන අයුරින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට අධිචෝදනා ලබා සිටි අම්පිටියේ සුමන හිමියන් ඇප මත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණය ඊයේ (17) නියෝග කළේය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) උල්ලංඝනය කරමින් 2023 වසරේ ඔක්තෝබර් 25 වැනිදා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා හයක් යටතේ නඩුව කැඳවූ අවස්ථාවේදී මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.




පසුගිය නොවැම්බර් 14 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඊයේ දිනයේදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණි. කරුණු සලකා බැලූ විනිසුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමට නියෝග කළ අතර, විදෙස් ගමන් තහනමක් පනවා විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස ද නියම කළේය. මීට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද විත්තිකරුට නියෝග කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු අධිකරණය මඟහරිමින් සිටි බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට ප්‍රකාශයක් ලබා දී නොමැති බවත්ය.


විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, පසුගියදා රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර තෙල්දෙණිය විහාරස්ථානයේ නායයෑම් සිදු වූ බවත්, එහි සහන කටයුතුවල නිරතව සිටි බැවින් තම සේවාදායකයාට මීට පෙර අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවත්ය.

එමෙන්ම අදාළ ප්‍රශ්නගත ප්‍රකාශය සිදු කර මේ වන විට වසර දෙකක් ගත වී ඇති බවත්, ඉන් පසුව විත්තිකරු කිසිදු අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා, පෙර වැරදි නොමැති බැවින් සුදුසු ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නියෝගය ආපසු කැඳවා විත්තිකරු ඇප මත මුදා හැරීමට තීරණය කළ අතර නඩුව ලබන ජනවාරි 20 වන දින නැවත කැඳවීමට නියෝග කළේය.