peradeniya_black_bridge_debris_removed

පේරාදෙණිය කළු පාලමේ සිරවී තිබූ දැව කඳන් නාවික හමුදා කිමිදුම්කරුවන් ඉවත් කරයි




දිට්වා සුළිකුණාටුවෙන් පේරාදෙණිය කළු පාලම තුළ සිරවී තිබූ දැව කඳන්, උණ පඳුරු සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ජල ගැලීම් යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කටයුතු කර තිබේ.

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගසාගෙන ආ දැව කඳන් සහ උණ පඳුරු පේරාදෙණිය කළු පාලම, දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම්වල සිරවීම නිසා ජලය නිසි ලෙස ගලා යාමට බාධා ඇති විය. මෙම පාලම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහාය සහ තාක්ෂණික දායකත්වය ලබා දෙන මෙහෙයුම් පසුගිය දෙසැම්බර් 14 සහ 17 යන දිනවල සාර්ථකව නිම කරන ලදී.




කළු පාලම දුම්රිය පාලමේ බාධා ඉවත් කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂ කිමිදුම් කණ්ඩායමක් දෙසැම්බර් 4 වනදා සිට සහාය ලබා දුන් අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ඇතිව සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව සිදු කළ මෙහෙයුමකින් පසු කළු පාලමේ සිරවී තිබූ දැව කඳන් සහ විශාල උණ පඳුරු ඉවත් කිරීමට හැකි විය. එමගින්, ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමෙන් ඉදිරි අලුත්වැඩියා කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවට කඩිනමින් සිදු කිරීමට හැකි වේ.

පේරාදෙණිය නිල්ලඹ ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ඇති කළුගමුව පාලමේ සිරවී තිබූ දැව කඳන් හේතුවෙන් ගැටඹේ සිට නිල්ලඹ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්‍රාගාරයට ජලය රැගෙන යන ප්‍රධාන නළ මාර්ගයට හානි වීමේ අවදානමක් ද මතුවී තිබුණි. නාවික හමුදාව දෙසැම්බර් 11 දින ආරම්භ කළ විශේෂ කිමිදුම් සහාය මෙහෙයුම දෙසැම්බර් 14 දින සාර්ථකව නිම කිරීමෙන් ජල නළ මාර්ගයට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට හැකි විය.



මේ අතර, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව දියත් කළ විශේෂ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම යටතේ පසුගිය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 18 දක්වා කාලය තුළ පුද්ගලයින් 1378 දෙනෙකු බේරාගෙන 18301 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් සහන සැලසීමට කටයුතු කර ඇත. එමෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොදු ස්ථාන, නිවාස සහ පානීය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ ජල ළිං 1025 ක්, පොදු ස්ථාන 104 ක් සහ නිවාස 83 ක් පිරිසිදු කර භාර දී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.