people-chase-away-dayasiri-who-went-to-make-a-video-of-giving-disaster-aid-video

 පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාවට සහන බෙදා දීම සඳහා ගිය අවස්ථාවකදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අවතැන් වූ ජනතාව රඳවා සිටි මධ්‍යස්ථානයක් වෙත මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සහනාධාර රැගෙන ගිය අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති අතර, ඔහුට හූ කියමින් එළවා දමන ඊට අදාළ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.



එම ස්ථානයට එක්රොක් වී සිටි විශාල ජනකායක් මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ පැමිණි පිරිස වටකර ගනිමින් ඉතා ආවේගශීලීව තම විරෝධය පළ කරන ආකාරය දක්නට ලැබුණු අතර, සහන භාණ්ඩ බෙදා දෙන ආකාරය වීඩියෝ ගත කිරීමට යාමේදී ජනතාව ඊට එරෙහිව හඬ නැගූ බව වාර්තා වේ. තමන් යාචකයින් නොවන බවත්, මීට පෙර ඉතා හොඳින් ජීවත් වූ පිරිසක් බවත් පෙන්වා දුන් ප්‍රදේශවාසීන්, තම අසරණභාවය වීඩියෝ කරමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට හෝ එය අලෙවි කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කර ඇත.




මෙම ආධාර බෙදා දීම හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් බවට චෝදනා කළ එම ජනතාව, අදාළ භාණ්ඩ මීට පෙර මාධ්‍ය නාලිකාවක් මගින් ලබා දුන් ඒවා බවත් වෙනත් පාර්ශවයන් ලබා දුන් දේවල් දේශපාලනඥයින් විසින් බෙදා හැරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අවධාරණය කර තිබේ. පසුගිය දින කිහිපය පුරාවටම සාමාන්‍ය ජනතාව පැමිණ තමන්ට සහන ලබා දුන්නේ කිසිදු ප්‍රචාරයකින් තොරව බවත්, එලෙස තිබියදී කැමරා යොදා ගනිමින් වීඩියෝ ගත කිරීම තමන්ගේ ගෞරවයට හානියක් බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එල්ල වූ දැඩි විරෝධය හමුවේ අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයට ගෙන යෑමට තිබූ අවශ්‍යතාව මත එම භාණ්ඩ රැගෙන ආ බවයි. කෙසේ වෙතත් දිගින් දිගටම එල්ල වූ ජනතා විරෝධය හමුවේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට එම ස්ථානයෙන් පිටව යාමට සිදුවූ අතර, ඔවුන් ආපසු යන විට රැස්ව සිටි ජනතාව හූ තබමින් සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි.
අදාළ වීඩියෝව මෙතැනින් click here




gossiplanka image 1