only-95-roads-remain-blocked-due-to-the-disaster-situation

 පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා නිසා මේ වන විට ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ මාර්ග 95ක පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය දිනවල පැවති ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හේතුවෙන් එම අධිකාරිය යටතේ පවතින මාර්ග 256කට හානි සිදුවී තිබිණි.



කෙසේ වෙතත්, මේ වන විට දිවයිනේ සියලුම ප්‍රධාන නගර වෙත ප්‍රවේශ වීමේ මාර්ග පහසුකම් යථා තත්ත්වයට පත් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි මහතා සඳහන් කළේය. ඉතිරිව ඇති මාර්ගවල පවතින බාධාවන් ද ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.




මාර්ගවල පවතින අවහිරතා කඩිනමින් ඉවත් කිරීම සඳහා අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් ඇතුළු නිලධාරීන් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇත. විශේෂයෙන් කඩුගන්නාව ප්‍රදේශයේ පවතින අවහිරතා හේතුවෙන් වසා දමා තිබූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අද දිනයේදී යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිත බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග පද්ධතියට අමතරව පාලම් 20ක් ද කැඩී ගොස් විනාශ වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කළේය.