19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 191කින් පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම අද සමත් විය
.
ICC Academy Ground, Dubai පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු යොවුන් කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 347ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් විය.
එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ සමීර් මින්හාස් ලකුණු 172ක් වාර්තා කළ අතර, අහමඩ් හුසේන් ලකුණු 56ක් සහ උස්මාන් ඛාන් ලකුණු 35ක් ලබාගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්හ. ඉන්දීය පන්දු යැවීමේදී, දීපේෂ් දේවේන්ද්‍රන් කඩුලු 3ක් දවා ගත් අතර, හෙනිල් පටෙල් සහ කිලාන් පටෙල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
දැවැන්ත ලකුණු 348ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය 19න් පහළ කණ්ඩායම, පන්දුවාර 27ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණි. ඉන්දීය ඉනිමේදී වෛභව් සූර්යවංශි ලකුණු 26ක් රැස් කරමින් යම් සාර්ථකත්වයක් පෙන්වූවද, ඔහුගේ දැවී යාමත් සමග ඉන්දීය ඉනිම වේගයෙන් කඩාවැටීමකට ලක් විය.
පාකිස්තාන පන්දු යවන්නන් අතරින් අලී රාසා කඩුලු 4ක් දවාලූ අතර, මොහොමඩ් සයියම්, අබ්දුල් සුබාන් සහ හුසයිෆා අසාන් කඩුලු 2 බැගින් දවාලමින් විශිෂ්ට දක්ෂතා දැක්වූහ.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් පාකිස්තාන 19න් පහළ කණ්ඩායම යොවුන් ආසියානු ශූරතාවය සිය සන්තකයට පත් කර ගත්තේය. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සමීර් මින්හාස් හට හිමි විය.