මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම දිනවලදී මෙරට වායු ගුණාත්මකභාවය පහළ වැටී ඇති බවයි. විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශකය ඉහළ අගයක් ගෙන තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
ඊයේ සහ අද දින තුළ වායුවේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති අතර, දැනට වායු තත්ත්ව දර්ශක අගය 150ත් 200ත් අතර පරාසයක පවතින බවද ආචාර්ය ගුණවර්ධන මහතා පැවසීය.
අන්තර් දේශසීමා හරහා සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවට ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
පසුගිය වසර කිහිපය පුරාවටම මෙම කාලසීමාව තුළ මෙවැනි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බව පෙන්වා දුන් මධ්‍යම පරිසර අධිකාරිය, රටේ වායු තත්ත්ව දර්ශකය පිළිබඳව මෙන්ම සමස්ත වායුගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳවද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
මෙම දුර්වල වායු ගුණාත්මකභාවය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු සැලකිල්ලට ගෙන, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ අවශ්‍ය ප්‍රතිකාර සෙවීම සුදුසු බව ඔහු අවවාද කරයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය අද දිනට පසුව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.