gossiplanka image 1

 රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය කිසිදු සතෙකු මස් පිණිස වෙළඳපොළට නිකුත් කර නොමැති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මියගිය සතුන් වෙළඳපොළට එක් කර ඇති බවට සමාජයේ පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.



ගංවතුර සහ ආපදා තත්ත්වය හේතුවෙන් බිත්තර දමන කිකිළියන් ලක්ෂ 28කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව හෙතෙම අනාවරණය කළේය.


මෙම හදිසි සත්ත්ව හානිය හේතුවෙන් රුපියල් 26 - 27 වැනි මිලකට පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව තිබූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 45 - 50 දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ගංවතුර තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑම් එල්ල කළ ද, දැදුරු ඔය සහ මහවැලි නිම්නය ආශ්‍රිත ප්‍රදේශවල සත්ත්ව ගොවිපොළවලට ඉන් දැඩි හානියක් සිදුව තිබේ. විශේෂයෙන් දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත දක්වා වූ සත්ත්ව ගොවිපොළ රැසක් සම්පූර්ණයෙන්ම යට වී විනාශ වී ඇති අතර, ගොවිපොළ තිබූ ස්ථාන පවා හඳුනාගත නොහැකි මට්ටමට පත්ව ඇති බව අප්පුහාමි මහතා සඳහන් කළේය.




එළඹෙන නත්තල් උත්සව සමයත් සමඟ බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රට තුළ දැවැන්ත බිත්තර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සභාපතිවරයා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කළේය. එසේම, ගංවතුරෙන් කොටු වී සිටි මියගිය සතුන් වෙත ළඟා වීමට හැකි වී ඇත්තේ දින කිහිපයකට පසුව බැවින් එම සතුන් ඒ වන විටත් නරක් වී තිබූ බවත්, එම නිසා එම සතුන් මස් ලෙස වෙළඳපොළට පැමිණීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.