do-not-start-vehicles-caught-in-floods

 දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වය නිසා ජලයෙන් යට වූ හෝ ජලයේ ගසාගෙන ගිය වාහන, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවකින් තොරව කිසිදු හේතුවක් මත පණගැන්වීමෙන් වළකින ලෙස රථවාහන ඉංජිනේරු ආචාර්ය නුවන් මදනායක මහතා වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.



ජලයට හසුවූ වාහනයක් නැවත පණගැන්වීමට උත්සාහ නොකර කාර්මික මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් පළමුව පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය පියවරකි. අනතුරුව තිරිංග, පවර් ස්ටියරින්, ගියර් සහ එන්ජින් ඔයිල් ඇතුළු සියලුම ලිහිසි තෙල් වර්ග ඉවත් කළ යුතු අතර, එම තෙල් වර්ග සුදු පැහැයට හැරී ඇත්නම් එන්ජිම පූර්ණ පරීක්ෂාවකට ලක් කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.




දින දෙක තුනක් වැනි කාලයක් සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී තිබූ වාහනයක එන්ජිම සහ ගියර් පෙට්ටිය නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වුවද, එහි විද්‍යුත් පද්ධතිය නැවත භාවිත කිරීම කිසිසේත්ම නුසුදුසු බව ඉංජිනේරුවරයාගේ අදහසයි. තාවකාලික අලුත්වැඩියාවක් සිදු කළද කල් යෑමේදී විද්‍යුත් පරිපථ විඛාදනයට ලක්වී විශාල කාර්මික ගැටලු මතු විය හැකි බැවින්, රක්ෂණ ආවරණ හරහා එම වාහන භාවිතයෙන් ඉවත් කිරීම හෝ තෙවන පාර්ශ්ව රක්ෂණ හිමියන් විද්‍යුත් පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුතින් සකස් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මීට අමතරව, ජලයෙන් හානි වූ වාහනවල පැද්දුම් පද්ධතිවල (Suspension) ඇති පැරණි ග්‍රීස් සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුතින් යෙදීමටත්, ඊට අදාළ රබර් කොටස් අලුතින් සවි කිරීමටත් කටයුතු කළ යුතු බව ආචාර්ය නුවන් මදනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.