Orders to arrest Namal Kumara for insulting the Cardinal

 අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් සහ කතෝලික ප්‍රජාව කුපිත කරවන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (09) පොලීසියට නියෝග කළේය.



මෙම නඩුව  විවෘත අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර නාමල් කුමාර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.




කෙසේ වෙතත්, මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති අසේල නුවන් රාජපක්ෂ යන අය නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.




අදාළ සැකකරුවන් විසින් සිදු කරන ලද ප්‍රකාශ මගින් ආගමික, ජාතීක සහ ජාතික වශයෙන් වෛරී සහගත තත්ත්වයක් ප්‍රචාරණය වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනයකින් පසුව නාමල් කුමාර සහ අනෙක් සැකකරු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි අයවලුන් වේ.