an-18-year-old-youth-who-was-renting-a-house-tied-up-the-housewife-and-stole-14-million-rupees-worth-of-gold

 තමන්ගේම දරුවෙකුට මෙන් සලකා කෑම බීම ලබා දුන් නිවසේ හිමිකාරියව ඇඳක බැඳ දමා රුපියල් දහතුන් ලක්ෂ අසූ හය දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිවසේ කුලියට පදිංචිව සිටි තරුණයා ඇතුළු සිව් දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.



කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ පදිංචිව සිටි මෙම කාන්තාව දරුවන් නොමැති අයෙකු වන අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉහළ මාලය කුලියට ගත් පුද්ගලයා අතීත වැරැද්දක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත වූ පසු ඔහුගේ 18 හැවිරිදි පුත්‍රයාට අනුකම්පා කර දිනපතා කෑම බීම ලබා දීමට ඇය කටයුතු කර තිබේ.




පසුගිය නොවැම්බර් 25 වන දින දහවල් කාලයේදී ඉහළ මාලයේ කාමරය තෙමෙන බව පවසා කාන්තාව උඩු මහලට ගෙන්වා ගෙන ඇති සැකකාර තරුණයා, පිටතින් ගෙන්වා ගත් සිය මිතුරෙකු සමඟ එක්ව වයර් ආධාරයෙන් ඇයව ඇඳකට තබා බැඳ කටට ප්ලාස්ටර් ගසා ඇය පැළඳ සිටි රන් මාලය, පෙන්ඩනය, සුරය සහ කරාබු ජෝඩුව බලහත්කාරයෙන් ගලවාගෙන ඇත.

අනතුරුව කාන්තාව ඇඳ ඇතිරිල්ලකින් වසා දමා සැකකරුවන් දෙදෙනා කල්තියා සූදානම් කරගෙන තිබූ මෝටර් රථයකින් පලාගොස් ඇති අතර, නිවස දෙසින් කෙඳිරිගාන ශබ්දයක් ඇසී පැමිණි අසල්වැසි කාන්තාවක් විසින් විපතට පත් කාන්තාව මුදාගෙන පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.

පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටින පියා බැලීමට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර,


ඔහුට ආධාර අනුබල දුන් කැලණිය, යක්කල, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචි තවත් පුද්ගලයන් තිදෙනෙකු සහ ජාවාරමට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබූ රන් මාලය සහ පෙන්ඩනය මෙන්ම ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ කරාබු ජෝඩුවද සොයා ගැනීමට හැකි වූ බවත්, කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.

gossiplanka image 1