elief-packages-are-not-practical-rajitha.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හඳුන්වා දෙන ලද සහන පැකේජය ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගිකභාවය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැඩි සැක පළ කරයි.

නවතම ඇස්තමේන්තු වාර්තා උපුටා දක්වමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, සුළි කුණාටුව හේතුවෙන් රටට සිදුව ඇති සමස්ත පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 6ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.



මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, ආපදාවට ලක්වූ නිවාස 67,505ක් පිරිසිදු කිරීම සඳහා රුපියල් 25,000 බැගින් ලබා දීමේදී රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.




එසේම, මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 50,000ක දීමනාව ලබා දීමට අතිරේක රුපියල් බිලියන 3.4ක් වෙන් කිරීමට රජයට සිදුවන බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිවාසවලින් තාවකාලිකව ඉවත් වීමට කැමති පිරිස් වෙත මාස තුනක කාලයක් සඳහා කුලී දීමනාව ලෙස රුපියල් 25,000 බැගින් ගෙවීමට රුපියල් මිලියන 312ක මුදලක් වෙන් කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

විනාශ වූ භෝග සඳහා ගොවීන්ට ලබා දෙන වන්දි මුදල් ප්‍රායෝගික නොවන බව පවසන ඒ මහතා, හෙක්ටයාර 510,000ක වගා හානි වෙනුවෙන් රුපියල් බිලියන 7ක මුදලක් අවශ්‍ය වනු ඇති බව අවධාරණය කළේය.




තවද, ජීවනෝපායන් අහිමි වූ පවුල් සඳහා රුපියල් 50,000 බැගින් ලබා දීමට රුපියල් බිලියන 44ක් ද, එළවළු ගොවීන්ට වන්දි ගෙවීමට රුපියල් බිලියන 20ක් සහ පශු සම්පත් විනාශවීම් වෙනුවෙන් රුපියල් බිලියන 20ක් ද රජයට අවශ්‍ය වනු ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 200ක් සහ විනාශ වූ ව්‍යාපාරික ස්ථාන සඳහා ගෙවීමට රුපියල් බිලියන 5ක් අවශ්‍ය බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 2.5ක මුදලක් අවශ්‍ය වන බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.