ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ මේ දිනවල ක්‍රියාත්මක වන මතභේදාත්මක සහ නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර ඊට මැදිහත් වන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම විශේෂ ලිපිය, යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා ජාතික කොමිසම හරහා යුනෙස්කෝ මහ ලේකම්වරයා වෙත භාර දීමට පියවර ගෙන ඇත.
අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇති පරිදි තංගප්පුවේ සිට කෝබස්සැප් (Corbet's Gap) දක්වා කිලෝමීටර් 8ක දුරක් වනාන්තරය මැදින් ඉදි කිරීමට යෝජිත මෙම මාර්ගය හේතුවෙන්, විශ්වීය වටිනාකමකින් සහ ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි නකල්ස් ලෝක උරුමයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වනු ඇත.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙරට ප්‍රකාශිත පළමු සංරක්ෂිත වනාන්තරය වන නකල්ස් භූමිය තුළ මෙවැනි ඉදිකිරීමක් සිදු කිරීම අදාළ පනත පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බවත්,
එය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් එම සංවිධානය දැඩිව අවධාරණය කරයි.
රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින් මෙම නීති විරෝධී ක්‍රියාවලියට සහාය පළ කිරීම මගින් මෙරට උරුමයන් ආරක්ෂා කිරීම, පාලනය සහ වගවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් නිර්මාණය වී ඇති බැවින්, මේ පිළිබඳ හදිසි සමාලෝචනයක් සිදු කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය යුනෙස්කෝ මහ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval