central-bank-issues-official-circular-on-disaster-grants

 මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ සුළි සුළං ආපදාවලින් පීඩාවට පත් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර වෙත විශේෂ මූල්‍ය සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නව උපදෙස් මාලාවක් ඇතුළත් 2025 අංක 04 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බාධාවක් නොවන පරිදි, ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම ක්‍රමවේදය මගින් ආපදාවට ලක්වූවන් සඳහා පවතින ණය අයකර ගැනීම අත්හිටුවීම සහ සහන පොලී යටතේ නව ණය ලබා දීම සිදු කෙරේ.

මෙම ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් 2026 ජනවාරි මස 15 වන දිනට පෙර අදාළ බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව මහ බැංකුව දැනුම් දෙයි. අදාළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව විපතට පත් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මූලික ණය මුදල හෝ පොලිය ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් සඳහා අත්හිටුවීමට බැංකුවලට අවසර ලබා දී ඇති අතර,


එම කාලසීමාව තුළ ගිවිසුම්ගත පොලියට වඩා වැඩි පොලියක් හෝ කල් ඉකුත් වීමේ පොලියක් (Penal interest) අය කිරීමෙන් වැළකී සිටින ලෙස ද බැංකු වෙත උපදෙස් දී ඇත.

ආපදාවට ලක් වූ පාර්ශවයන්ට සිය ජීවනෝපායන් සහ ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් ණය ආපසු ගෙවීමේ හැකියාව මත පදනම්ව නව ණය පහසුකම් ලබා දීමට ද බැංකු කටයුතු කළ යුතු අතර, එහිදී මාස 3ක සහන කාලයකින් පසු නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. මෙලෙස ලබා දෙන නව ණය සඳහා වසර 2ක් දක්වා කාලසීමාවක් වෙනුවෙන් වාර්ෂිකව සියයට 9ක ස්ථාවර පොලියක් හෝ පවතින ගිවිසුම්ගත පොලී අනුපාතවලින් අඩු අගය අය කළ යුතු අතර, වසර දෙක ඉක්මවන ණය සඳහා ඉන් අනතුරුව පවතින සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාත (AWPLR) හා සබැඳි අනුපාතයකට පොලිය සංශෝධනය කිරීමට අවකාශය ලබා දී ඇත.




ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඊට අදාළ කොන්දේසි සහ ගාස්තු පිළිබඳව අනුමැතියට පෙර පාරිභෝගිකයා දැනුවත් කර ඔවුන්ගේ කැමැත්ත ලබා ගත යුතු අතර, ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තා මත පමණක් පදනම් වී නව ණය ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකරන ලෙස ද බැංකුවලට දැඩිව උපදෙස් දී තිබේ. යම් හෙයකින් ණය ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට අදාළ හේතු ලිඛිතව පාරිභෝගිකයාට ලබා දිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට අභියාචනා කළ හැකි බවත් මහ බැංකුව අවධාරණය කරයි.

තවද, විපතට පත් පාරිභෝගිකයින්ගෙන් 2026 ජනවාරි 31 දක්වා චෙක්පත් අගරු වීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, යම් හෙයකින් බැංකු පද්ධති මගින් ස්වයංක්‍රීයව එම මුදල් අය කර තිබුණහොත් දින 3ක් ඇතුළත ඒවා යළි අදාළ ගිණුම්වලට බැර කිරීමට ද බලපත්‍රලාභී බැංකු වගබලා ගත යුතුය.