danish-venerable-mettavihari-thero-passes-away

 ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදු දහම නවීන තාක්ෂණය හා මුසු කරමින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩෙන්මාර්ක් ජාතික පූජ්‍ය මෙත්තාවිහාරි ස්වාමීන් වහන්සේ අපවත් වී තිබේ. ඩෙන්මාර්කයේ උපත ලබා මෙරටට පැමිණ ශාසනික සේවාවන්හි නිරත වූ උන්වහන්සේ, නැවත සිය මව්බිම බලා වැඩම කර රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත් වූහ.



කොළඹ 07 නාරද මන්දිරයේ දීර්ඝ කාලයක් වැඩ වාසය කළ උන්වහන්සේගේ සුවිශේෂීම ශාසනික දායකත්වය වූයේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ සංකල්පයකට අනුව ත්‍රිපිටක ධර්මය පරිගණකගත කිරීමේ වැඩපිළිවෙළයි. බුදු දහම නව තාක්ෂණයෙන් ලෝකවාසී ජනතාව වෙත නොමිලේ බෙදා හැරීමේ පුරෝගාමී කාර්යභාරය උන්වහන්සේ අතින් සිදුවිය.


වර්ෂ 1988 ජූනි මස 26 වැනි දින මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ සහ අතිගරු අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට එළැඹි උන්වහන්සේ, සිය නාමයට අර්ථයක් එක් කරමින් නිරතුරුවම මෙත් සිතින් කටයුතු කළ හිමිනමකි.

විදේශිකයෙකු වුවද ඉතා චතුර ලෙස සිංහල භාෂාව හැසිරවීමේ හැකියාවෙන් යුක්ත වූ උන්වහන්සේ ගත කළේ ඉතාමත් අල්පේච්ඡ සහ සරල දිවි පෙවෙතකි. හුදෙක් ආගමික ප්‍රබෝධය පමණක් නොව දරුවන්ගේ නැණස පෑදීම වෙනුවෙන් ද කැපවූ මෙත්තාවිහාරි හිමියෝ, 'ධම්මවාහිනී' නමින් ආගමික විද්‍යුත් නාළිකාවක් ආරම්භ කිරීමට කටයුතු කළහ.


පසුව එය පාසල් දරුවන් වෙනුවෙන් විවිධ විෂය ධාරාවන් ඔස්සේ දැනුම ලබා දෙන පුළුල් අධ්‍යාපනික නාළිකාවක් බවට පරිවර්තනය කිරීමට ද උන්වහන්සේ පියවර ගත් අතර මේ සියලු සමාජ සත්කාරයන් සිදු කරනු ලැබුවේ ලාභ අපේක්ෂාවෙන් තොරව නිස්සරණාධ්‍යාශයෙනි.

අපවත් වී වදාළ උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රානුකූල පාංශුකූල පිංකම ඊයේ පස්වරුවේ කොළඹ 07 නාරද බෞද්ධ ධර්මායතන පරිශ්‍රයේදී සිදු කෙරිණි. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (09) දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී සිදු කිරීමට නියමිතව ඇත.

gossiplanka image 1