gossiplanka image 1

 දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්ව පීඩාවට පත් මෙරට ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ෂගාරියන් (Levan Dzhagaryan) මහතා අතර විශේෂ හමුවක් ඊයේ (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.



මෙහිදී වත්මන් ආපදා තත්ත්වය සහ ජනතාව මුහුණ දී සිටින ගැටලුකාරී ස්වභාවය පිළිබඳව රුසියානු තානාපතිවරයා දැනුවත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කළේය. සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ දුම්රිය මාර්ග සහ මාර්ග පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමටත්, හානියට පත් අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අඩාල වී ඇති ජන ජීවිතය නැවත නඟා සිටුවීමටත් රුසියානු රජයේ සහයෝගය ලබා දෙන ලෙස


සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම අසීරු අවස්ථාවේදී රුසියාව ලබා දුන් සහයෝගය පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රුසියානු තානාපතිවරයා වෙත සිය ස්තූතිය පුද කිරීමට ද විපක්ෂ නායකවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය. දීර්ඝ කාලීන මිතුරන් වශයෙන් දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම තුළින් ආර්ථික වශයෙන් වැටී ඇති රට නැවත ගොඩනැගීමට විශාල ශක්තියක් ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.