පසුගියදා ඇති වූ දරුණු සුළි කුණාටු තත්ත්වය හමුවේ රජය නිසි වේලාවට නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කළේ නම් අහිමි වූ ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. පසුගිය මස 12 වැනිදා සිට මෙම ආපදා තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්,
ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යවරයා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා චෝදනා කළේය.අවම වශයෙන් මෙම අනතුරු ඇඟවීම 25 වැනිදා උදෑසන ලැබුණු බව පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණ ද, නිසි කළමනාකරණයක් නොවීම හේතුවෙන් අද වන විට මව්පියන්ට දරුවන් ද දරුවන්ට මව්පියන් ද අහිමි වී, අවම වශයෙන් මියගිය ඥාතීන්ගේ දේහයන් හෝ දැකගත නොහැකි ශෝචනීය තත්ත්වයක් උදා වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර, මෙම ආපදා තත්ත්වය මෙතරම් තීව්‍ර වීමට බලධාරීන්ගේ නොසැලකිල්ල හේතු වූයේ දැයි විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. පසුගිය 08 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ නොසැලකිලිමත්භාවය නිසා මෙම ස්වභාවික ව්‍යසනයෙන් ජීවිත හානි සිදු වූ බවට සමාජය තුළ ප්‍රබල මතයක් ගොඩනැගී ඇති බවයි.
එබැවින් පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා මේ පිළිබඳ සොයා බැලීම අනාගතයේ මෙවැනි ව්‍යසනවලට මුහුණ දීම සඳහා සූදානම් වීමට ද වැදගත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මැතිවරණ ජයග්‍රහණයට පෙර සහ පසුව ආණ්ඩුවේ නායකයින් ජනතාවට අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් මේ වන විට රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවත්, ආපදාවෙන් මියගිය පිරිස 3,000 කට අධික බවට පොදු සමාජ මතයක් නිර්මාණය වී ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රජය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන ජනතාව විශ්වාස නොකරන බැවින්, නැවත මහජන විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා ආපදා මරණ සංඛ්‍යාව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතු බවත්, එමඟින් ජනතාවට තමන්ගේ ප්‍රදේශයේ සිදුවූ මරණ නිවැරදිව වාර්තා වී ඇත්දැයි තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු යෝජනා කර සිටියේය.