වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති බිත්තර මිල තව සති දෙකක් හෝ තුනක් වැනි කාලයක් තුළ අනිවාර්යයෙන්ම පහළ යනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා ප්‍රකාශ කරයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිත්තර දමන කිකිළියන් ලක්ෂ තිහකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවට ඇතැම් පිරිස් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බවත්,
මිල ඉහළ යෑමට හා නිෂ්පාදනය පහත වැටීමට බලපෑ සැබෑ හේතුව සතුන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ සතියක පමණ කාලයක් පුරා නිසි පරිදි ලබා දීමට නොහැකි වීම බවත් ඒ මහතා පෙන්වා දෙයි.පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය නිසා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කල්මුණේ සහ මඩකලපුව වැනි ප්‍රදේශවලින් ප්‍රවාහනය කෙරෙන සහල් පොලිස් කුඩු තොග ගෙන්වා ගැනීමට බාධා එල්ල වී ඇත. මීට අමතරව වී මෝල් සහ සත්ත්ව ආහාර ගබඩා ජලයෙන් යටවීම නිසා සත්ත්ව ආහාර හිඟයක් ද නිර්මාණය වී තිබේ. මේ වන විට රුපියල් 180 ට තිබූ සෝයා මිල රුපියල් 260 දක්වාත්, රුපියල් 140 ට පමණ තිබූ බඩඉරිඟු කිලෝවක් රුපියල් 170 දක්වාත්, රුපියල් 130 මට්ටමේ තිබූ රයිස් පොලිස් කුඩු රුපියල් 150 දක්වාත් ඉහළ ගොස් ඇති අතර ඇතැම් අවස්ථාවල ඉහළ මිලක් ගෙවා හෝ ලබා ගැනීමට ආහාර නොමැති තත්ත්වයක් ද උද්ගතව ඇත.
ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්තේ බිත්තර දමන කිකිළියන් සිටින ගොවිපොළවලින් සියයට දෙකක් හෝ තුනක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි. කෙසේ වෙතත් සතියක් පුරා නිසි ආහාර සහ විටමින් නොලැබීම හේතුවෙන් සතුන්ගේ බිත්තර දැමීමේ ක්‍රියාවලියට මසක පමණ කාලයක් එම බලපෑම එල්ල වන බව ලේකම්වරයා පැහැදිලි කරයි. බිත්තරයක් නිර්මාණය වීමට දින 20ත් 30ත් අතර කාලයක් ගත වන බැවින් එම ක්‍රියාවලිය මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් පවතින අතර, ඉදිරි සති කිහිපය තුළ නිෂ්පාදනය යලි සාමාන්‍ය අතට හැරීමත් සමඟ බිත්තර මිල අඩුවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval