දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක හඳුනාගත් අවදානම් සහිත ස්ථානවල තවදුරටත් නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම කඳුකර භූ ලක්ෂණවලින් යුත් කෑගල්ල, රත්නපුරය, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධාන වන බව හෙතෙම පෙන්වා දෙයි.
මීට අමතරව මොනරාගල, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ස්ථානවල ද නායයෑම් ඇතිවීමේ විභවයක් පවතී. කොළඹදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 30ක පමණ ප්‍රදේශයක් නායයෑමේ අවදානමට ලක්ව ඇති බවත් එය වර්ග කිලෝමීටර් 20,000ක පමණ වපසරියක් බවත්ය.
මෙම අවදානම් කලාප තුළ මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 34ක ප්‍රතිශතයක් ජීවත් වන බව ද සේනාධීර මහතා එහිදී අනාවරණය කළේය.
කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට ලැබුණු තොරතුරු මත අනතුරුදායක තත්ත්වයන් කල්තියා හඳුනාගෙන, එම ස්ථානවල පදිංචිව සිටි පුද්ගලයන් 15,000කට අධික පිරිසක් ඉවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබේ.
මීට පෙර ඇති වූ ආපදා තත්ත්වයන්හිදී සිදුවූ ජීවිත හානිවලින් වැඩි ප්‍රමාණයක් පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් සිදුවී ඇති බවත්, ඒ පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval