ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වූ ද්විපාර්ශ්වික ගිවිසුම නැවත බලාත්මක කිරීමේ නිල අත්සන් තැබීම ඊයේ (12) ඉතාලියේ රෝම නුවරදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොඩ්‍රිගෝ මහතා සහ ඉතාලි රජය නියෝජනය කරමින් එරට විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ට්‍රිපෝඩි මහත්මිය මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම මීට පෙර 2011 වසරේදී මුලින්ම අත්සන් තබා 2016 වසරේදී අලුත් කර තිබූ අතර, එහි වලංගු කාලය 2021 වසරේදී අවසන් විය. ඉන් අනතුරුව දෙරටේ ප්‍රවාහන බලධාරීන් අතර දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡා සාර්ථක කරගනිමින් මෙලෙස නැවත ගිවිසුම්ගත වීම සිදුවිය.
නව එකඟතාවයට අනුව, අදාළ රටෙහි වසර හයකට අඩු කාලයක් පදිංචිව සිටින පුරවැසියන්ට අමතර න්‍යායික හෝ ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ දීමකින් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය, පදිංචි රටේ බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමේ සුවිශේෂී අවස්ථාව හිමිවේ.
ඉතාලියේ ජීවත්වන සහ රැකියාවල නිරත වන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙම පහසුකම ඉමහත් පිටිවහලක් වන අතර, එමගින් ඔවුන්ගේ රැකියා අවස්ථා පුළුල් කරගැනීමටත්, වඩාත් ඵලදායී ලෙස එරට සේවය කිරීමටත් අවස්ථාව උදාවනු ඇත.
දෙරටේ රජයන් විසින් මෙම ගිවිසුම සනාථ කිරීමෙන් අනතුරුව දින 60ක් ඇතුළත එය බලාත්මක වීමට නියමිත අතර, ගිවිසුම බලාත්මක වූ පසු ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval