බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු විසින් සිය පිළිකා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සුබවාදී පුවතක් ලොව හමුවේ අනාවරණය කර ඇති අතර, පූර්ව හඳුනාගැනීම සහ ඵලදායී මැදිහත්වීම් හේතුවෙන් එළැඹෙන වසරේ සිට සිය ප්‍රතිකාර කටයුතු සීමා කළ හැකි බව එතුමා ප්‍රකාශ කර ඇත. ‘ස්ටෑන්ඩ් අප් ටු කැන්සර්’ (Stand Up To Cancer) ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වීඩියෝ පණිවුඩයක් මගින්
රජු මේ බව සඳහන් කළේය. මෙම සන්ධිස්ථානය තමාට පෞද්ගලික ආශිර්වාදයක් මෙන්ම පිළිකා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සිදුව ඇති විස්මිත දියුණුව පිළිබඳ සාක්ෂියක් බව ද එතුමා එහිදී පවසා සිටියේය.වර්ෂ 2024 පෙබරවාරි මාසයේදී සිය රෝග විනිශ්චය ප්‍රථම වරට හෙළි කිරීමෙන් පසුව රජුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් වූ වැදගත්ම යාවත්කාලීන කිරීම මෙය වේ. බකිංහැම් මාලිගයේ ප්‍රකාශවලට අනුව, රජුගේ සුවය ලැබීම ඉතා ධනාත්මක අවධියකට ළඟා වී ඇති අතර ඔහු ප්‍රතිකාරවලට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වා ඇත. වෛද්‍යවරුන් විසින් ඔහුගේ ප්‍රතිකාර ක්‍රියාවලිය දැන් "පූර්වාරක්ෂක අදියරක්" (precautionary phase) වෙත ගෙන යනු ඇත. කෙසේ වෙතත්, රජු සම්පූර්ණයෙන්ම සුව වී ඇති බවක් හෝ රෝගය යටපත් වී ඇති බවක් (remission) මෙයින් අදහස් නොකරන අතර, ප්‍රතිකාර වාර ගණන පමණක් සැලකිය යුතු ලෙස අඩු කරනු ලබයි.
ක්ලැරන්ස් හවුස් හි දී පටිගත කරන ලද මෙම පණිවුඩයේදී චාල්ස් රජු පිළිකා රෝගය කල් තියා හඳුනාගැනීමේ වැදගත්කම දැඩිව අවධාරණය කළේය. "මගේ අත්දැකීම් අනුව පිළිකා රෝග විනිශ්චයක් ලැබීම කෙතරම් කම්පන සහගත විය හැකිද යන්න මම දනිමි. එහෙත් පූර්ව හඳුනාගැනීම මගින් ප්‍රතිකාර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බවත්, එය වෛද්‍ය කණ්ඩායම්වලට අගනා කාලයක් ලබා දෙන බවත් මම දනිමි," යනුවෙන් එතුමා ප්‍රකාශ කළේය. ඔබේ හෝ ඔබ ආදරය කරන කෙනෙකුගේ ජීවිතය රඳා පවතින්නේ මෙම පූර්ව හඳුනාගැනීම මත බව ද ඔහු සිහිපත් කළේය.
එක්සත් රාජධානියේ පිළිකා පරීක්ෂණ වැඩසටහන් සමඟ සම්බන්ධ වී සිටින මිලියන නවයක පමණ ජනතාවක් එම පරීක්ෂණ මඟහැර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් රජු සිය කනගාටුව පළ කළේය. මෙය පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා මිලියන නවයක් මඟහැරීමක් ලෙස ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම බඩවැල් ආශ්‍රිත පිළිකා මුල් අවධියේදී හඳුනා ගතහොත් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම වසර පහකට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ අවස්ථාව හිමි කර ගන්නා බවත්, ප්‍රමාද වී හඳුනා ගතහොත් එම අනුපාතය දස දෙනෙකුගෙන් එක් අයෙකු දක්වා පහත වැටෙන බවත් රජු සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් පැහැදිලි කළේය. කෙසේ වෙතත්, රාජකීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ රජු බඩවැල් පිළිකා ගැන සඳහන් කිරීම ඔහුගේ රෝගී තත්ත්වය හා සම්බන්ධ නොවන බවයි.
බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් ද රජුගේ මෙම ප්‍රකාශය "බලගතු පණිවුඩයක්" ලෙස අගය කළේය. රජුගේ පිළිකා ප්‍රතිකාර ලබන වසරේදී අඩු කිරීම පිළිබඳව මුළු රටම සතුටු වන බව අගමැතිවරයා සඳහන් කළේය. රජු පසුගිය කාලය පුරාවටම සිය රෝගී තත්ත්වය ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමෙන් වැළකී සිටි අතර, ජර්මානු ජනාධිපතිවරයාගේ සංචාරය වැනි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ විදෙස් සංචාර ඇතුළු කාර්යබහුල කාලසටහනක නිරත වෙමින් සාමාන්‍ය පරිදි රාජකාරි පවත්වාගෙන ගියේය.
පිළිකා රෝගීන් වටා සිටින වෛද්‍යවරුන්, හෙදියන්, පර්යේෂකයන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සැදුම්ලත් "රැකවරණයේ ප්‍රජාව" (community of care) පිළිබඳව ද රජු ඉතා සංවේදීව අදහස් දැක්වීය. මේ අතර, පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘ස්ටෑන්ඩ් අප් ටු කැන්සර්’ ව්‍යාපෘතිය 2012 වසරේ සිට පවුම් මිලියන 113ක් රැස් කර ඇති අතර, එමගින් රෝගීන් 13,000ක් සම්බන්ධ කර ගනිමින් සායනික පරීක්ෂණ 73ක් සඳහා අරමුදල් සපයයි. ප්‍රසිද්ධ පුද්ගලයින් මෙලෙස විවෘතව පිළිකා ගැන කතා කිරීම සාමාන්‍ය ජනතාව පරීක්ෂණ සඳහා යොමු වීමට දිරිගැන්වීමක් බව පිළිකා පර්යේෂණ එක්සත් රාජධානිය (Cancer Research UK) ආයතනයේ ප්‍රධාන විධායක මිෂෙල් මිචෙල් පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval