new-al-exam-schedule-to-be-announced

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතරමග නතර කෙරුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් සඳහා වන සංශෝධිත නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) නිකුත් කරනු ලැබීය. එම නව කාලසටහනට අනුව ලබන ජනවාරි 12 වැනි දින පෙරවරුවේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයත්, පස්වරුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයේ පළමු ප්‍රශ්න පත්‍රයත් පැවැත්වීමට නියමිතය.



ජනවාරි 13 වැනිදා පෙරවරුවේ ගිණුම්කරණය, අරාබි සහ චීන භාෂාව යන විෂයයන් පැවැත්වෙන අතර, එදින පස්වරුවේ ශ්‍රී ලංකා ඉතිහාසය සහ මැලේ භාෂාව යන විෂයයන් පැවැත්වෙනු ඇත. ජනවාරි 14 වැනිදා පෙරවරුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ පස්වරුවේ හින්දි හා කොරියන් භාෂා විෂයයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.




ජනවාරි 16 වැනිදා පෙරවරුවේ ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය, උසස් ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, රුසියන් සහ ජපන් භාෂා පළමු ප්‍රශ්න පත්‍ර විභාග පැවැත්වෙන අතර එදින පස්වරුවේ භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. ජනවාරි 17 වැනිදා පෙරවරුවේ ගණිතය දෙවැනි පත්‍රය, රුසියන් සහ ජපන් භාෂා දෙවැනි පත්‍ර පැවැත්වෙන අතර එදින පස්වරුවේ භූගෝල විද්‍යාව දෙවැනි පත්‍රය පැවැත්වීමට නියමිතය.

ජනවාරි 19 වැනිදා පෙරවරුවේ හින්දි දෙවන පත්‍රය සහ කොරියන් භාෂාව දෙවන පත්‍රයත්, පස්වරුවේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පළමු පත්‍රයත් පැවැත්වේ. විභාගයේ අවසන් දිනය වන ජනවාරි 20 වැනිදා පෙරවරුවේ උසස් ගණිතය දෙවැනි පත්‍රය සහ ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය දෙවැනි පත්‍රය ද, එදින පස්වරුවේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය දෙවැනි පත්‍රය ද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානය වෙත යෑමට නොහැකි පාසල් අයදුම්කරුවන් ඒ පිළිබඳව වහාම තම විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු අතර, විදුහල්පතිවරුන් විසින් එම තොරතුරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ විභාග කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුය. එසේම ආපදාවට ලක්වූ පෞද්ගලික අයදුම්කරුවන්ට නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට අපහසුතා ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 2784537, 011 278 6616 සහ 011 278 4208 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.