cyclone-disaster-damages-855-sacred-sites

 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 19ක් පුරා පිහිටි ආගමික ස්ථාන 855කට හානි සිදුව ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අනාවරණය කරයි. ඊයේ (10) දින වන විට ලැබී ඇති දත්ත අනුව මෙම තොරතුරු තහවුරු වී ඇති අතර, හානියට පත් ස්ථාන අතර බෞද්ධ විහාරස්ථාන 415ක්, හින්දු කෝවිල් 185ක්, මුස්ලිම් පල්ලි 157ක් සහ ක්‍රිස්තියානි දේවස්ථාන 98ක් වන බව අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.



දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී සමස්තයක් ලෙස වැඩිම ආගමික සිද්ධස්ථාන සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි සියලුම ආගම්වලට අයත් ස්ථාන 93කට හානි සිදුව තිබේ. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආගමික ස්ථාන 92ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්ථාන 83ක් ලෙස හානි වාර්තා වී ඇත. බෞද්ධ සිද්ධස්ථාන සඳහා වැඩිම හානියක් සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 66ක් වන විට,


නුවරඑළියෙන් 57ක්, පුත්තලමෙන් 51ක් සහ කෑගල්ලෙන් 50ක් ලෙස බෞද්ධ විහාරස්ථාන ආපදාවට ලක්ව ඇත.

මේ අතර හින්දු ආගමික ස්ථාන සඳහා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වන අතර එහි ස්ථාන 44කට හානි වී ඇති පසුබිමක මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ද හින්දු සිද්ධස්ථාන 30කට හානි සිදුව තිබේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් පල්ලි 47කට හානි සිදුවීමත් සමඟ එම ආගමික අංශයේ වැඩිම හානිය එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ක්‍රිස්තියානි දේවස්ථාන සඳහා වැඩිම හානියක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ දේවස්ථාන 20ක් ආපදාවට ලක්වී ඇති බැවිනි. සිදුව ඇති හානි පිළිබඳ ගණනය කිරීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බැවින් මෙම සංඛ්‍යාලේඛන ඉදිරියේදී ඉහළ යා හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.