ne-yo-apologizes-postponed-concert

ජාත්‍යන්තර R&B ගායක නී-යෝ (Ne-Yo) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සිය ප්‍රසංගය හදිසියේ කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රසිකයින්ගෙන් සමාව අයැද සිටියේය. සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, "නොවැළැක්විය හැකි හේතූන්" මත ප්‍රසංගය කල් දැමීමට සිදුවීම ගැන තමන් බලවත් සේ කණගාටු වන බවයි.

කෙසේ වෙතත්, නුදුරේදීම නැවත ශ්‍රී ලංකාවට පැමිණ රසිකයින් හමුවීමට අපේක්ෂා කරන බව ද නී-යෝ වැඩිදුරටත් අවධාරණය කළේය.




'බ්‍රවුන් බෝයි ප්‍රසන්ට්ස්' (Brown Boy Presents) නම් සංවිධායක ආයතනය විසින් 2025 වසරේ දෙසැම්බර් 28 වැනි දින සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රසංගය හදිසියේ අවලංගු කරන ලදී. කෙසේ වෙතත්, රුපියල් 15,000කට අධික මිල ගණන් යටතේ ප්‍රවේශපත්‍ර අලෙවි කර විශාල ආදායමක් උපයා ගැනීමෙන් අනතුරුව, අදාළ සංවිධායකයින් සැකකටයුතු ලෙස රටින් පලා ගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් ප්‍රසංගය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටි රසිකයින් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට වංචා පැමිණිලි කිහිපයක් ද ලැබී ඇත. සංවිධායකයින් විසින් සිදු කළ බවට චෝදනා වන මෙම විශාල පරිමාණයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.