nawalapitiya-pasbagakorale-police-station-is-panicking-due-to-a-fake-email-bomb-scare

නාවලපිටිය සහ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෝම්බ තර්ජන පිළිබඳ ලැබුණු විද්‍යුත් තැපැල් පණිවිඩ මත ඊයේ (29) දින සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුම්වලදී කිසිදු සැකකටයුතු වස්තුවක් හෝ තොරතුරක් හමු නොවූ බව පොලිසිය පවසයි. පූජාපිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණු තර්ජනය ව්‍යාජ එකක් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




නාවලපිටිය පස්ගම කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොදු ඊ මේල් ගිණුමට ලද පණිවිඩයකින්, එහි ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට අනතුරු අඟවා තිබුණි. එම පණිවිඩයේ, විදේශ රටකින් එවූ කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත්, එය ඊයේ (29) පස්වරු 2:00ට පුපුරා යන බවත් නාවලපිටිය පස්ගම කෝරළයේ ප්‍රාදේශීය ලේකම් රම්සා ජයසුන්දර මහත්මිය වෙත දන්වා තිබිණි. වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්වරිය, කාර්යාල කාර්ය මණ්ඩලය සහ එහි පැමිණ සිටි පිරිස ඉවත් කර ආරක්ෂක අංශ දැනුවත් කළාය.

ඒ අනුව, නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ පොලිස් නිල සුනඛ අංශයේ ද සහයෝගය ඇතිව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය සහ විශේෂයෙන් ගබඩා කාමරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කිසිදු සැකකටයුතු දෙයක් නොමැති බව තහවුරු විය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලද ඊ මේල් පණිවිඩයක් මත මෙම සෝදිසිය සිදුකළ බව තහවුරු කළාය.




මේ අතර, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද ඊයේ (29) දින යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට විද්‍යුත් පණිවිඩයක් ලැබී තිබූ අතර, පූජාපිටිය පොලිසියේ විමර්ශනවලදී එය ව්‍යාජ එකක් බවට අනාවරණය විය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි. ඔහු කියා සිටියේ, පෙරේදා (28) දිනැති විද්‍යුත් ලිපිනයකින් යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවටත්, නිලධාරීන් ඊයේ (29) දහවල් 2:00ට පෙර ඉවත් වන ලෙසටත් එම පණිවිඩයේ සඳහන්ව තිබූ බවයි. මෙම පණිවිඩය 28 වැනිදා ලැබී තිබුණද, එදින නිවාඩු දිනයක් වූ බැවින් එහි නිලධාරියෙකු එය දැක තිබුණේ ඊයේ (29) දින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත එහි නිලධාරියෙකු ඊයේ (29) පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය, සියලුම කාර්ය මණ්ඩලය ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බළකාය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම නිල සුනඛයන් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. පැය හතරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී ද කිසිදු සැකකටයුතු වස්තුවක් හමු නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. පූජාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

news-2025-12-30-091307

news-2025-12-30-091307