දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් අතිශය ඛේදනීය පුවතක් වාර්තා වේ. මවක සහ ඇගේ පුතුන් දෙදෙනකු ත්‍රි-රෝද රථ අනතුරකින් මියයාම හේතුවෙන් නාගස්වැව, මාවනාගම හා දෙහිඅත්තකණ්ඩිය යන අවට ගම්මානවල ජනතාව මේ වනවිටත් කඳුළු සලමින් සිටිති.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි එස්.බී. දිස්නා අයිරංගනි මව සහ ඇගේ දරුවන් වන 04 හැවිරිදි සෙත්මිණ දින්ෂාත් අබේවර්ධන සහ 10 හැවිරිදි බිම්සර සදෙව් අබේවර්ධන යන තිදෙනාය.
මියගිය දරුවන් අතුරින් බිම්සර සදෙව් අබේවර්ධන (10) නාගස්වැව ප්‍රාථමික විදුහලට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 163ක් ලබාගනිමින් විශාල කීර්තියක් අත්කර දුන් දක්ෂ සිසුවෙකි. ගමේ සියලු දෙනාගේම ආදරය හා කරුණාව දිනාගෙන ජීවත් වූ මෙම මව හා දරු දෙදෙනා
අනතුරට ලක්ව ඇත්තේ නිතර නිතර අසනීප වූ බාල පුතුට මහියංගණයට ගොස් බෙහෙත් රැගෙන එන අතරතුරදීය.
නාගස්වැව ප්‍රාථමික විදුහලේ ගුරු මාතාවක වන චන්ද්‍රිකා ශ්‍රියානි මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසූයේ, මෙම සිසුවාගේ අකල් මරණය හේතුවෙන් විදුහල්පතිවරයා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයම දැඩි ශෝකයට පත්ව සිටින බවය. ශිෂ්‍යත්වයෙන් සමත් වූ පසු විශාල පාසලකට ගොස් අධ්‍යාපනය ලබන්නට උදව් කරන ලෙස බිම්සර සෑම විටම ඉල්ලා සිටි බැවින්, ඒ සඳහා සියලුම ගුරුභවතුන් උදව් කිරීමට සූදානම්ව සිටි මොහොතක සිදුවූ මේ සිදුවීම දරාගත නොහැකි වේදනාවක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
නාගස්වැව විදුහල්පති නිලන්ත සමරතුංග මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ, තමන් විදුහල භාරගත් දින සිටම හොඳ ළමයින් සිටින බව තේරුම් ගෙන කටයුතු කළ බවත්, ආර්ථික අපහසුතා ඇති මවුපියන් සිටින පාසලක වුවද ගුරුභවතුන් සමඟ එක්ව ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් උපයෝගී කරගනිමින්, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 163ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත් බිම්සර පුතු විදුහලට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් විනයගරුක හා ආදර්ශවත් සිසුවෙක් බවය. ඒ හේතුවෙන් ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට පත් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
එසේම, බිම්සර පුතුගේ අධ්‍යාපනය උසස් තැනකට ගෙන යාම සඳහා ඔහුගේ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන විදේශයක සිටින තම මිතුරකුගේ උපකාර ලබා ගැනීමට සැලසුම් කර තිබූ බවත්, මේ ඛේදනීය සිදුවීම හේතුවෙන් තමන් සහ විදුහලේ ගුරුභවතුන් දැඩි ලෙස සංවේගයට පත්ව සිටින බවත් විදුහල්පතිවරයා පැවසීය. මෙවැනි හද කම්පා කරවන සිදුවීම් අනාගතයේදී අවම කර ගැනීමට නම්, මාර්ගයේ ගමන් කරන රථවාහන මෙන්ම මගීන් ද විමසිලිමත් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම සහ අනාගතය භාර ගැනීමට සිටින පුංචි මල් කැකුළු බේරා ගැනීමට හැකි වනු ඇති බවට සංවේගයට පත්ව සිටින විදුහල්පතිවරයා අවධාරණය කළේය.