a-young-man-who-was-raped-suddenly-dies

කොත්තු ආහාරයට ගැනීමෙන් පසු රෝගී වී රෝහල් ගත කළ 35 හැවිරිදි තරුණයෙකු පෙරේදා (24) රාත්‍රියේ සිට ඊයේ (25) අලුයම දක්වා කාලය තුළ මියගොස් ඇති බව අඟුරුවාතොට පොලීසිය පවසයි.




මියගිය තැනැත්තා ගල්පාත, බටගොඩ, නදීඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී. මහේෂ් සංජීව නන්ද­දේව (35) නමැති අවිවාහක තරුණයෙකි.

පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිටි මියගිය තරුණයා පෙරේදා රාත්‍රී 8.30ට පමණ රැකියාව නිමවා නිවසට පැමිණ තිබේ. ඔහු පැමිණෙන විට කොත්තුවක් රැගෙන විත් ඇති අතර, එය තම වැඩිමහල් සහෝදරයා සමඟ ආහාරයට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. රාත්‍රී 10.30ට පමණ ඔහුට වමනය හා උදරයේ වේදනාවක් ඇති වී ඇති අතර, වහාම ගල්පාත රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ඊයේ අලුයම ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.




කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මියගිය තරුණයා සමඟ කොත්තු ආහාරයට ගත් ඔහුගේ වැඩිමහල් සහෝදරයාට කිසිදු රෝගී තත්ත්වයක් ඇති වී නොමැති බවද විමර්ශනවලදී තහවුරු වී තිබේ. මෙම මරණය සම්බන්ධයෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, හොරණ හදිසි මරණ පරීක්ෂක සහ සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් එය සිදු කරනු ඇත. මරණයට හේතුව නිශ්චිතව අනාවරණය කරගත හැක්කේ මෙම පරීක්ෂණයෙන් පසුව බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

news-2025-12-26-042550