ග්‍රාම නිලධාරිනියකට පරුෂ වචනයෙන් බැන වැදී මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගය නියෝජනය කරන පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මුන්දලම පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරන විමල් රෝහණ නැමැති මන්ත්‍රීවරයෙකි.
පසුගිය 05 වනදා මංගලඑළිය ග්‍රාම නිලධාරිනිය ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සැකකාර මන්ත්‍රීවරයා පදවාගෙන ආ කුඩා ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇති අතර, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඇයට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇතැයි පොලිසිය පවසයි. තමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බවත්, ග්‍රාම නිලධාරී තනතුර තමාට අදාළ නොවන බවත් පවසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී අදාළ ග්‍රාම නිලධාරී වසම තුළ රාජකාරිය කිරීමට ඉඩ නොදෙන බවට සැකකරු තර්ජනය කළ බව ග්‍රාම නිලධාරිනිය විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය මැදිහත් වී දෙපාර්ශවය සමථයකට පත් කිරීමට උත්සාහ දරා තිබුණද, ඉකුත් 08 වනදා නැවත වරක් දුරකථනය හරහා කතා කොට මන්ත්‍රීවරයා තමාට තර්ජනය කළ බව ග්‍රාම නිලධාරිනිය සඳහන් කර සිටියි. ආපදාවට ලක්වූවන්ට පානීය ජලය බෙදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන සහ තම නිවසට ජලය ලබා නොදීම සම්බන්ධයෙන් විමසමින් මන්ත්‍රීවරයා මෙලෙස දෙවන වරටත් තර්ජනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ මුන්දලම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.